(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා දේශීය කර්මාන්තකරුවන්ගේ ගැටලු විසඳීම සඳහා මැදිහත්වීමට තීරණය කර ඇත.
කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් කර්මාන්ත ක්ෂේත්‍රයට බලපා ඇති ගැටළු සම්බන්ධයෙන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් මහ බැංකු මූලස්ථානයේදී ඊයෙ (27) පැවැත්විණි.
මහ බැංකු අධිපතිවරයා එම තීරණය ගෙන ඇත්තේ ඒ රැස්වීමේදීය.
කර්මාන්ත සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමේදී ආනයන සීමා හේතුවෙන් මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණ.
කර්මාන්ත අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි 2001.06.11 දින සිට ආනයන සීමා ඉවත් කෙරුණු කර්මාන්ත සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීම සඳහා බැංකුවලින් ණයවර ලිපි විවෘත කරවා ගැනීමේදී මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීමට පියවර ගන්නා බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා එහිදී පොරොන්දුවු බව කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.
මීට අමතරව ලෝහ ආශ්‍රිත කර්මාන්තය ඇතුළු තවත් කර්මාන්ත කිහිපයකට අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට ආනයන සීමා හේතුවෙන් මතුවී ඇති බාධා ඉවත් කිරීමට කටයුතු කරන්නැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙහිදී ඉල්ලීමක් කළේය.
ඒ සම්බන්ධයෙන් සමාලෝචනයක් කර අනුමැතිය ලබාදීමට අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙහිදී එකඟ විය.
තවද වාහන එකලස් කිරීමේ කර්මාන්ත සඳහා අවශ්‍ය වාහන මූලික ආකෘති (prototypes) ගෙන්වා ගැනීමට මෙරට වාහන ආනයනය සීමා හේතුවෙන් බාධා මතුව ඇති බව කර්මාන්ත අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එම බාධා කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බව මහ බැංකු අධිපතිවරයා එහිදී පැවැසීය.
මෙම සාකච්ඡාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් දයා රත්නායක, අමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී අනුෂ්ක ගුණසිංහ, අතිරේක ලේකම්වරුන්වන එස්. එල්. නසීර් සහ රංජිත් විමලසූරිය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

