(නිමල කොඩිතුවක්කු)
රටේ පවතින දේශපාලන අර්බුදයට මැදිහත් නොවී කිසිඳු ගැටලුවකින් තොරව රාජකාරි කරන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සිට සියලූම රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කොළඹදී පැවැසීය.
රාජ්‍ය නිලධාරීන් සතු වගකීම ජනාධිපතිවරයා ලෙස තමන් භාර ගන්නා බවත් රට වෙනුවෙන් රාජ්‍ය සේවකයන් සතු වගකීම හරියට ඉටුකරන ලෙසට දැනුම් දෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සමෘද්ධි නිලධාරින් 7000ක් සඳහා ස්ථීර පත්විම් ලිපි ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට කොළඹ සුගතදාස ක‍්‍රීඩංගනයේදී අද (30) එක්වෙමිණි.
එහිදි වැඩිදුරටත් අදහසු දැක්වූ මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවැසීය.
‘‘මේ දිනවල විශේෂයෙන්ම අමාත්‍යාංශ කටයුතුවලදී සහ රජයේ නිලධාරින්ගේ කටයුතු පිලිබඳ විවිධ අදහස් පල වෙනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ රටේ ආණ්ඩුවේ ප‍්‍රධානියා විදියට කුමන ආකාරයේ දේශපාලන නොසංසුන් තත්වයක් තිබුණත් මේ රට අස්ථාවර වෙන්න දෙන්න පුලූවන් කමක් නැහැ. රටේ සාමාන්‍ය ජනතාවගේ දෛනික කටයුතු සිදුවිය යුතුයි. රජයේ සියලූම නිලධාරින් සිය වගකිම් ඉටුකළ යුතුයි.
අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කර තිබෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පැවරි ඇති බලතල අනුව ජනාධිපතිවරයා විසිනුයි. අමාත්‍යාංශ ලේකම්වරුන්ට මම පසුගිය සතියෙත් ගෙනල්ලා මේ ගැන උපදෙස් දුන්නා.
ඒ නිසා අමාත්‍යාංශවල කටයුතු සිය කාර්ය මන්ඩල සමඟ කිසිදු බලපෑමකින් තොරව ඉටුකිරීමට රාජ්‍ය නිලධාරින් බැඳී සිටිනවා.
දේශපාලන ආරවුල අපි බේර ගන්නම්. රාජ්‍ය නිලධාරීන් සතු වගකීම ජනාධිපතිවරයා විදිහට මම බාර ගන්නම්. ඒ නිසා ඔබේ වගකිම ඔබ හරියට ඉටුකරන්න කියලා මම කියනවා.
පොදුවේ රටේ සේවාවන් අඩාල නොකර ඉතා වගකීමෙන් කටයුතු කරන්න කියන ඉල්ලිම මේ රටේ සමස්ථ රාජ්‍ය සේවකයන්ගෙන් මම ඉල්ලා සිටිනවා’ යැයි ජනාධිපතිවරයා එහිදී පැවැසීය.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා







