දෙවන මහලෙන් වැටී රෝගියා මරුට


(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු දෙවන මහලෙන් බිමට වැටී අද (31)දා ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පාදුක්ක , මීරියගල්ල , කන්දබඩ අංක 218 හි පදිංචි සෙම්බකුට්ටි ආරච්චිලාගේ බන්දුල නැමැති (59) හැවිරිදි  පුද්ගලයෙකි .

මොහු ඉකුත් 29 දා කිසියම් කැපුම් තුවාලයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහලට පැමිණ 3 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර පසුව 5 වාට්ටුවට මාරු කර තිබේ.

ඒ අනුව එහි ප්‍රතිකාර ලබමින් සිටියදී අළුයම 5 පමණ නව ගොඩනැගිල්ලේ දෙවැනි මහලෙන් බිමට වැටී අනතුරකට පත්ව තිබුණි .

පසුව රෝහල් සේවකයින් සහ ආරක්ෂක අංශය මැදිහත්ව අනතුරට පත් පුද්ගලයා වාට්ටුවකට ඇතුළත් කොට එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇතැයි  පොලීසිය පවසයි .

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර  සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

සිද්ධිය වූ ස්ථානයට  නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිළධාරීන් පැමිණ  පරීක්ෂණ ආරම්භ කළ අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතය .

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන  ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මානවඩු  මහතාගේ උපදෙස් මත  වැඩිදුර පරීක්ෂණ පවත්වති.