දෙමටගොඩ රුවන්ගේ බිරිය සතු කෝටි පහක රන් සොයාගනී


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන චමිල ප්‍රසන්න නොහොත් දෙමටගොඩ රුවන් නැමැත්තාගේ අනියම් බිරිඳ භාරයේ තිබී පවුම් විස්සක් බර 20 ක් රන් ඔටුන්නක් ඇතුළු රුපියල් කෝටි 5 කට අධික වටිනා රන් භාණ්ඩ තොගයක් සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී දේපොළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි

එම රන් භාණ්ඩ වල බර කිලෝ 2 ග්‍රෑම් 148 ක් බව පොලීසිය සඳහන් කරයි

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල්වලින් මෙම රන් භාණ්ඩ තොගය මිල දී ගෙන තිබූ බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.

සොයාගත් එම රන් භාණ්ඩ අතර දෙමටගොඩ රුවන් නැමැත්තා දරුවකුගේ උපන්දිනය වෙනුවෙන් පැළඳීම සඳහා සාදවන ලද රතු පැහැති ගල් අල්ලන ලද පවුම් 20 ක රනින් නිමවු ඔටුන්නක් ද තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය

එම රන් භාණ්ඩ අතර රන් වළලු 22 ක් , කරමාල 6 ක්,රන් හැන්දක් ,කරාබු ජෝඩු 7 ක්,සුර 6 ක්,අත් පළඳනා 11 ක්, ග්‍රෑම් 10 ක් බර රන් බිස්කට් එකක් ,මුදු 21 ක්,පෙන්ඩන් 7 ක් මෙන්ම රනින් නිමවන ලද ලක්ෂ්මි දෙවියන්ගේ කුඩා පිළිමයක්ද වන බව විමර්ශන නිළධාරියෙකු පැවසීය

දෙමටගොඩ රුවන් නැමැත්තාගේ අනියම් බිරිඳ වන දෙමටගොඩ වේළුවන පාරේ පදිංචි තිස් එක් හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු අනුව සැකකාරියගේ ඥාති සොයුරකු ගේ බණ්ඩාරගම කඹුරුගොඩ ප්‍රදේශයේ නිවසක භූගත බංකරයක් තුළ තිබී මෙම රන් භාණ්ඩ තොගය සොයාගත් බව පොලිසිය කියයි