දූපත් රැසකට සුනාමි බලපෑම්


රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයට ඔබ්බෙන් මුහුදේ හටගත් ප්‍රබල භූමිකම්පාව හේතුවෙන්, ඇමෙරිකාවට අයත් හවායි දූපත් සහ ඇලෙස්කා කලාපවලට ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණි.

අනාරක්ෂිත ප්‍රදේශවල වාසය කළ වැසියන් සියලු දෙනා ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණි. මීට අමතරව චීනයට, පේරු රාජ්‍යයට සහ ඉක්වදෝරයට ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණි.

බටහිර අමෙරිකානු වෙරළතීරයට මෙන්ම ඇමෙරිකාවට අයත් ගුවාම් සහ කුඩා දූපත්වලට ද සුනාමි බලපෑම් එල්ල වනු ඇතැයි ද පැවැසිණි.

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ හටගත් රික්ටර් මාපකයේ ඒකක 8.8ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනය, ඉතිහාසයට එක්වන්නේ ලොව එතෙක් මෙතෙක් බලපෑ හයවැනියට ප්‍රබලතම භූකම්පනය ලෙසය.

භූකම්පනය හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපට අඩි 13ක් උස සුනාමි රළ කඩා වැදුණි.

ජපානයට බලපෑ සුනාමි තත්ත්වය හේතුවෙන් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට මේ දක්වා කිසිදු බලපෑමක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බලාගාරයේ අධීක්ෂණ කටයුතු සිදුකරන එරට රජයට අයත් ටෝකියෝ විදුලිබල සමාගම හෙවත් ටෙප්පෝ සමාගම පවසා ඇත්තේ, සියලු කාර්ය මණ්ඩලය මේ වනවිට ඉන් ඉවත්කර ඇති බවය.

එමෙන්ම බලාගාරය තුළ කිසිදු අසාමාන්‍ය තත්ත්වයක් නොමැති බවද ඔවුන් ප්‍රකාශ කර තිබේ.

2011 වසරේ ඇති වූ භූමිකම්පාව නිසාවෙන් ඇති වූ සුනාමි තත්ත්වය හේතුවෙන් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට දැඩි බලපෑම් එල්ල විය.

මේ අතර, ටෝකියෝවට උතුරින් පිහිටි ෆැසිපික් වෙරළ තීරයේ සෙන්ඩායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ධාවනය පථය වසා දැමීමට තීරණය කිරීමත් සමග ප්‍රවාහන කටයුතු අඬාල වෙමින් පවතින බව ජපාන මාධ්‍ය වාර්තා කර ඇත.