දුප්පතුන්ට බෙදන්න දුන් සහල් පුස් කන්න ඇරලා


(උපුල් හේරත්, සහ සිඩ්නි රුවන් )

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය ලෝක ආහාර වැඩසටහන යටතේ මෙරටට දුප්පත් ජනතාවට බෙදාදීමට දුන් සහල් තොගයක් කල් ඉකුත්වීමෙන් පසුව යළි බෙදා හැරීම සඳහා කහටගස්දිගිලියේ ප්‍රසිද්ධ සහල් මෝලකට යවා ශුද්ධ (පොලිෂ් ) කරමින් තිබියදී සිය බාරයට ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

මෙම සහල් තොගය කොළඹ ප්‍රදේශයේ සිට ලොරි අටකින් පමණ කහටගස්දිගිලියට ප්‍රවාහනය කර ඇති අතර එහි සහල් කිලෝ 1,76,500ක් පමණ ඇතැයිද අධිකාරිය කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

කල්ඉකුත් වූ සහල් තොගය පොලිෂ්කර නව ඇසුරුම්වල අසුරා මහජනතාවට බෙදා හැරීම සඳහා සහල් මොල් හිමිකරු සමග ගිවිසුමක් අත්සන් කර ඇති බවත් කියැවේ.එසේ පිරිසිදු කිරීමට සහල් කිලෝවකට රුපියල් 12ක් අය කරන බවද එම ගිවිසුමේ සඳහන්වී අැත

සහල් රැගෙන ආ ලොරි රථ අටටම මුද්‍රා තැබීමට පියවර ගත් බව පාරිභෝගික සේවා නිලධාරීහු පවසති.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක් විජේසුන්දර මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු කරන බවයි.