
(අංජුල මහික වීරරත්න)
ආකල්පමය වශයෙන් දියුණු, ශිෂ්ට සම්පන්න පුරවැසියා බිහිවීමට අවශ්‍ය පදනම වන්නේ පාසල් කාලයේ ලබන අත්දැකීම් සමුදාය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
රජය විසින් දහතුන් වසරක පාසල් අධ්‍යාපන කාලයක් තහවුරු කර ඇත්තේ එම අත්දැකීම් ලබා ගැනීමට ශිෂ්‍යයාට ඉඩහසර ලබාදීම පිණිස බවද
අග්‍රාමාත්‍යවරිය කීවාය.
ටවර් හෝල් රඟහල පදනම විසින් 30 වැනි වරටත් සංවිධානය කරන ලද "2024/2025 සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලියේ" සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතාව ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.
සව්සිරිපාය පරිශ්‍රයේදී මෙම සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්විණි.
"පාසල් සිසුන් මෙවැනි තරගාවලි සඳහා ඉදිරිපත් වී ජයග්‍රහණ ලැබුවත් නොලැබුවත්, කලා හා සංස්කෘතික කටයුතුවලට සම්බන්ධ වීමෙන් ලබන අත්දැකීම් ඔවුන්ගේ ජීවිතවලට මෙන්ම රටට අවශ්‍ය දියුණු ආකල්ප සහිත පුරවැසියා බිහි කිරීමටද මහෝපකාරී වෙනවා. එහෙත් වර්තමානයේ වැඩිහිටියන් තුළින් දරුවන්ගේ පාසල් අධ්‍යාපනය ඉක්මනින් හමාර කර ඔවුන් කඩිනමින් වැඩිහිටියන් බවට පත් කිරීමට උත්සාහ ගන්නා ප්‍රවණතාවයක් දැකිය හැකියි. එය රටට අවශ්‍ය දියුණු පුරවැසියන් බිහි කිරීම සඳහා සුදුසු තත්ත්වයක් නොවෙයි."යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.

