දිනකට පැය 2ක් විදුලි විසන්ධි කිරීමේ තීරණය අවලංගුයි


(දසුන් රාජපක්ෂ) 

හදිසි තත්ත්වයක් මත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ දිනකට පැය දෙකක කාලයක් විදුලි බලය විසන්ධි කිරීමට ගෙන තිබූ තීරණය අවලංගු කළ බව ප්‍රවාහන කළමණාකරන විදුලිබල හා බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා  ලංකාදීපයට අද (4) ප්‍රකාශ කළේය.

ණය සීමාවන් ඉක්මවා යෑම හේතුවෙන් කෙරවළපිටිය බලාගාරයට ඉන්ධන සැපයීම අත්හිටුවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කිරීම  හේතුවෙන් එම බලාගාරයේ විදුලිය උත්පාදන කටයුතු ඇණහිටීම නිසා විදුලි බලය විසන්ධි කිරීමට තීරණය වී තිබුණු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

විදුලිය විසන්ධි කිරීම හරහා ජනතාව පත්වන අපහසුතාවය කෙරෙහි අවධානය යොමු කර කැබිනට් මණ්ඩලයේ  ආවරණ අනුමැතිය ලබා ගෙන කෙරවළපිටිය බලාගාරයට අඛණ්ඩව ඉන්ධන සපයන ලෙස විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තමා උපදෙස් ලබා දුන් බව මහින්ද අමරවීර  අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව නැවතත් ඉන්ධන සැපයීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කළ බැවින් විදුලි බලය කපා හැරීම අත්හිටවූ බව ඒ මාතා කියා සිටියේය