(තිලකරත්න දිසානායක.)
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටින් ආසාදිතයින් 143 කු අද (1) වනවිට හමු වීම සහ පුද්ගලයින් දෙදෙනෙකු මිය යාම හේතුවෙන් දින 15 ක් රට පුරා අඛණ්ඩව ඇදිරි නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස ගම්පහ ප්‍රධාන විහාරාධිපති නාහිමිවරුන් සිව් නමක් රජයට යෝජනා කර සිටිති.
මේ වනවිට බස්නාහිර පළාත ඇතුළු යාපනය , මහනුවර සහ පුත්තලම දිස්ත්‍රික්කයන්හි නැවත දැනුම් දෙන තුරුද සෙසු දිස්ත්‍රික්කයන්හි අඛණ්ඩව නොවන අන්දමින් ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන මුත් අඛණ්ඩව ක්‍රියාත්මක නොවන දිස්ත්‍රික්කයන්හි ඇදිරි නීතිය ඉවත් කරනු ලබන අවස්ථාවන්හිදී ජනතාව කිසිදු තැකීමකින් තොරව හැසිරීම හේතුවෙන් රට පුරා කොරෝනා වෛරසය විශාල ලෙස ව්‍යාප්තවීමක් වියහැකි බවට උන්වහන්සේලා දැඩිසේ අනතුරු අඟවමින් රජයට මෙම යෝජනාව කර සිටිති.
ගම්පහ ප්‍රදේශයේ ප්‍රධාන විහාරස්ථාන හතරක නාහිමිවරුන් වන සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ බස්නාහිර පළාත ප්‍රධාන අධිකරණ සංඝනායක ජාත්‍යන්තර සාම මහා විහාරාධිපති තලංගල්ලේ සෝමසිරි , ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී සහ සියනෑ කෝරළයේ ප්‍රධාන සංඝ නායක කොස්සින්න යටවත්ත රජමහා විහාරාධිපති තෝරපිටියේ ආනන්ද , ගම්පහ සිරි සුනන්දාරාමාධිපති තුමිමෝදර සමිතසෝම සහ වැලිවේරිය ශ්‍රී පූර්වාරාමය ඇතුළු සිව් මහා විහාරාධිපති සියනෑ අලුත්කූරු දෙකෝරළයේ උප ප්‍රධාන සංඝනායක වැල්ලගිරියේ රතනසිරි යන නාහිමි වරුන් විසින් රට පත්ව ඇති අයහපත් තත්ත්වය හමුවේ මෙම යෝජනාව කර සිටිති.
උන්වහන්සේලා පෙන්වා දෙනු ලබන්නේ දිස්ත්‍රික්ක අතර ගමන් ගැනීමට නොහැකි වනසේ දැනට පවතින ඇදිරි නීතිය රට පුරාම පැය කිහිපයකට ඉවත් කරමින් දින 15 ක් තුල රටපුරා අඛණ්ඩව ඇදිරි නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව රජය මගින් ප්‍රකාශයට පත්කොට ජනතාවට ආහාර පාන , ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැස් කර ගැනීමට අවස්ථාව සැලසිය යුතු බවය.
එසේම මෙලෙස දින 15 ක් ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර සමෘද්ධි ඇතුළු රජයෙන් සහනාධාර ලබන අයට සහනාධාර ලබාදීම මෙන්ම කඩිනමින් ග්‍රාම නිලධාරීන් හරහා තොරතුරු ලබා ගනිමින් කුලී වැඩ වැනි දෛනිකව ආදායම් ලැබූවන්ට යම් දීමනාවක් ලබාදීමට පියවර ගැනීමත් සේම විශේෂයෙන්ම ග්‍රාමීය වෙළඳසල් වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය යැවීම පිනිස පියවර ගැනීමක් වියයුතු බවද උන්වහන්සේලා පෙන්වා දෙනු ලැබූහ.

