(ආනන්ද ඉ ජයකොඩි)
වේයන්ගොඩ නුංගමුවේ දහතුන් හැවිරිදි දැරියක් පැහැර ගෙන ගොස් නිවාස දෙකක රඳවා ගෙන සිටි බව කියන සිද්ධිය සම්බන්ධ සැකකාර චීවරධාරියෙකු ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු තවදුරටත් මේ මස 16 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය අද (02) නියෝග කළාය.
රාජගිරිය ප්‍රදේශයේ තෙල්දෙණියේ මේධානන්ද, ලියනගේ ධම්මික ජයලත්, පී ඩී සුමිත් ප්‍රසන්න කුලරත්න හා ඒ ඒ ජානක සංජීව යන සැකකරුවන් සිව් දෙනෙකු එසේ තවදුරටත් රිමාන්ඩ් කෙරිණි.
වේයන්ගොඩ නුංගමුව ප්‍රදේශයේ දේවාලයක් පවත්වා ගෙන යන නිවසක පදිංචි දැරියක් රවටා වාහනයක දමා ගෙන පැහැර ගෙන ගොස් රතුපස්වල හා වැලිවේරිය ප්‍රදේශයේ නිවාස දෙකක රඳවා ගෙන සිටි බව කියන සිද්ධියක් පිළිබඳව ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් පරීක්ෂණ පවත්වා චීවරධාරියා ඇතුළු සැකකරුවන් සිව් දෙනා අත් අඩංගුවට ගෙන තිබිණ.
මෙය ඊයේ (02) නැවත කැදවූ අවස්ථාවේ ජාතික ළමාරක්ෂක අධිකාරියේ උප පොලිස් පරීක්ෂක කේ ඒ ඩී සරත් මහතා කරුණු දක්වමින් දැරිය පැහැර ගෙන යාමට සම්බන්ධ සැකකාරියන් දෙනෙකු ප්‍රදේශය අතහැර පලා ඇති බව කියා සිටියේය.
ගම්පහ රෝහලේ දී දැරිය වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළ බවත් ඒ අනුව දැරිය මේ වන විටත් දැඩි මානසික පීඩනයකට පත්ව සිටින බවත් ඒ නිසාම දැරිය නැවත වතාවක් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළ යුතු බව වෛද්‍යවරයා දැනුම් දී ඇති බවද උප පොලිස් පරීක්ෂකවරයා කීය.
සිද්ධියට අවශ්‍යම සැකකාරියන් දෙදෙනෙකු සැගවී සිටින හෙයින් ඔවුන් දෙදෙනා අත් අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යන බවද උප පොලිස් පරීක්ෂකවරයා වැඩි දුරටත් කරුණු දක්වමින් කියා සිටියේය.
මෙහිදී නීතීඥ මනිලාල් වෛද්‍යතිලක මහතා කරුණු දක්වමින් එක දෙක හා තුන යන සැකකරුවන් පැහැර ගෙන යාමකට සම්බන්ධ නැති බව කියා සිටියේය.
මෙහිදී පරිවාස වාර්තාව සළකා බැලූ මහේස්ත්‍රාත්වරිය දැරිය වසර දෙකක පරිලෝචන නියෝගයකට යටත් කොට ඇය රුපියල් ලක්ෂයක ඇප බැඳුම්කරයක් යටතේ මවට භාර දීමටද නියෝග කළාය.
සැකකරුවන් වෙනුවෙන් පෙනී නීතීඥ වරුන් සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටි අතර ජාතික ළමාරක්ෂක අධිකාරියේ පොලිස් නිලධාරීන් ඇප දීමට දැඩිව විරුද්ධත්වය ප්‍රකාශ කළහ.
මෙහිදී දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් වලින් අනතුරුව සැකකරුවන් ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත් වරිය එසේ ඔවුන් තවදුරටත් රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට නියෝග කළාය.
නැවත කැදවීම මේ මස 16 වනදාට කල් තැබිණ.
සැකකරුවන් වෙනුවෙන් මනිලාල් වෛද්‍යතිලක, උපාලි කුමාරසිංහ, රුක්මන් සිල්වා හා හේමන්ත නාගොඩවිතාන යන නීතීඥ මහත්වරු පෙනී සිටියහ.

