(සුජිත් හේවාජුලිගේ)
බන්ධනාගාරවල දරුණු ගණයේ විශේෂ සිරකරැවන් ‘ස්කයිප්’ හෝ සූම් තාක්ෂණය ඔස්සේ ඒ ඒ බන්ධනාගාරවල සිටම අධිකරණ කටයුතු සඳහා යොමු කෙරෙන්නේ නම් ඔවුන්ගේ ජීවිතවලට සිදුවිය හැකි හානි අවම කරගත හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් සහ බූස්ස බන්ධනාගාරයේ දරුණු ගණයේ අපරාධකරුවන්ට සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු පරීක්ෂණ කමිටුවේ සභාපති ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය.
ආරක්ෂාව සැලකිල්ලට ගෙන එවැනි සිරකරුවන් අධිකරණවලට ගෙන යෑම අඩු කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
ඇප පිට නිදහස් කෙරුණද සමහර දරුණු ගණයේ සිරකරුවන් ආරක්ෂාව සදහා බූස්ස බන්ධනාගාරයේ දිගින් දිගටම රැඳී සිටින බව පැවසූ මහානාම හේවා මහතා එළියට ගියහොත් තමන්ගේ ජීවිතවලට හානියක් සිදුවිය හැකි බව බොහෝ සිරකරුවන් තුළ විශ්වාසයක් පවතින්නේ යැයිද ප්‍රකාශ කළේය.
කොපමණ බාධා තිබුණද බූස්ස බන්ධනාගාරයේ දරුණු ගණයේ සිරකරුවන් බොහෝ දෙනකු සන්නිවේදන පහසුකම් කෙසේ හෝ සපයා ගන්නා බවද හෙතෙම ප්‍රකාශ කළේය.
බූස්ස බන්ධනාගාරයේ දරුණු ගණයේ ගණයේ සිරකරුවන් බොහෝ දෙනකු ළඟ ජංගම දුරකථන සහ ඒවායේ අංගෝපාංග තිබූ බව පැවසූ ප්‍රතිභා මහානාම හේවා මහතා ප්‍රදේශයේ විදුලිය හිටිහැටියේ යන හෙයින් ඔවුන් ඔවුන්ට අවශ්‍ය පණිවිඩ ඒ අවස්ථාවලදී කඩිමුඩියේ හුවමාරු කර කරගන්නා බවද ප්‍රකාශ කළේය.
අලුත් කඩේ අධිකරණයේ පිටත සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාට ස්කෑන් යන්ත්‍ර දෙකක් ලබා දී තිබුණේ නම් ඒ විනාශය වළක්වා ගත හැකිව තිබූ බවද ඔහු කීවේය.
බූස්ස බන්ධනාගාරයේ විශේෂ සිරකරුවන්ට පහසුකම් වල අඩුවක් නැති බවත් ඔවුනට හොඳ ආහාර පාන මෙන්ම ව්‍යායාම් කිරීමේ පහසුකම්ද ලැබෙන ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
බොහෝ අවස්ථාවල ඔවුන්ගේ කෑමවලට තලපත් මාළු මෙන්ම ආහාරයෙන් පසු අඹ අන්නාසි ගස් ලබු වැනි පලතුරු පවා ලැබෙන බව ඔහු කීවේය.
එවැනි සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාදීම හොඳ යැයිද ආචාර්යවරයා පැවසීය.
මේ රටේ විශාල වශයෙන් ගිනි අවි පරිහරණය වන බවත් අපරාධ මර්ධනය කිරීමට අවශ්‍ය නම් මේ අනවසර ගිනි අවි අත්අඩංගුවට ගැනීම පළමුවෙන්ම කළයුතු කාර්ය බවත් ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසිය.
බොහෝ වෙඩිතැබීමකටම සම්බන්ධ වන්නේ යුද හමුදාවෙන් පැන ගිය අය බවද ඔහු ප්‍රකාශ කළේය.