දකුණු ආසියාවේ පරණම වෛද්‍ය පර්යේෂණායතනය බලන්න ඇමති යයි


 

(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය සේවාව ඇතුළු සියලුම ක්ෂේත්‍ර වල  පර්යේෂණ ජාතික සංවර්ධන සැලැස්මට අනුගත විය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

 දකුණු ආසියාවේ පැරණිතම සහ මෙරට පිහිටි විශාලතම මෙන් ම  ප්‍රධානම වෛද්‍ය පර්යේෂණායතනය වන බොරැල්ලේ පිහිටි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වත්මන් කටයුතු  සොයා බැලීමට එක්වීමෙන් අනතුරුව එම ආයතනයේ සියලු අංශ ප්‍රධානීන්, පර්යේෂකයින් ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.

වෛද්‍ය පර්යේෂණ යනු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැදගත්ම අංශයක් බවත්, රෝග මෙන් ම රෝග නිදානය, ප්‍රතිකාර සේවා, ප්‍රතිකා වලින් පසු රෝගියාගේ ජීවන රටාව පිළිබඳව ද කරුණු සලකා බලන්නේ ද වෛද්‍ය පර්යේෂණවලින් ලබාගන්නා නිගමනයන් තුළින් බවත් පෙන්වා දුන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෛද්‍ය පර්යේෂණ, විශේෂිත රසායනාගාර පරීක්ෂණ සහ මහජන සෞඛ්‍ය, ප්‍රශස්තව පවත්වාගැනිම සඳහා සිය අඛණ්ඩ දායකත්වය දක්වමින් ශ්‍රී  ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතියට එදා මෙදා තුර සිදුකරන කාර්යභාර්ය මෙරට ජනතාවගේ සුවිශේෂී ඇගයීමට ලක්වන බව ද පැවසීය.

රෝග නිරීක්ෂණ, එන්නත් තත්ත්ව පාලනය සහ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් පුහුණු කිරීම ඇතුළු ව වෛරස් විද්‍යාව, බැක්ටීරියා විද්‍යාව, පරපෝෂිත විද්‍යාව, පෝෂණය, ප්‍රතිශක්ති විද්‍යාව සහ අණුක ජීව විද්‍යා වැනි ක්ෂේත්‍රවල පර්යේෂණ සිදු කරමින් වසර 125 ක් වෛද්‍ය පර්යේෂණ ආයතනය ඉටුකර ඇති මෙහෙවර මෙහි දී සෞඛ්‍ය අමාත්‍යවරයාගේ  ප්‍රශංසාවට ලක්විය.