දකුණතේ ඇගිලි අහිමි වූවත් වමතින් ලියා ශිෂ්‍යත්වය ජයගත් පුත්තලමේ ෂෙවාන්


 

(එච්. චන්දන)

මෙවර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වු දරුවකු  තම දකුණු අත ඇගිලි, අල්ල කොටස අනතුරකින් නොසිතු මොහොතක අහිමිව තිබියදී නුහුරු වම් අතින්, පන්ති භාර ගුරුවරයාගේ උනන්දුව මග පෙන්වීම මත ලකුණු 170 ලබාගෙන ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහලින් සමත් වීමේ පුවතක් පුත්තලම අනගාරික ධර්මපාල ප්‍රථමික විද්‍යාලයේ  වාර්තාවේ.

පුත්තලම කොළඹ මාර්ගයේ මදුරන්කුලිය වජිර වත්ත ප්‍රදේශයේ  පදංචි ෂෙවාන් සංජිව 2 වන ශ්‍රේණියේ ඉගනුම ලබන අවදියේ  2017 වසරේදී තම පියා වඩේ සකස් කිරීමට අමු ද්‍රව්‍යය අඹරා ගන්නා යන්ත්‍රයට දකුණු අත දැමීමෙන් සිදු වූ හදිසි අනතුරින් අල්ල හා ඇගිලි විනාශ වී තිබේ.

ඒ වන විටත් තම පොත පතේ කටයුතු දකුණු අතින් සිදු කිරීමට පුරුදු වී සිටි මෙම  දරුවා අනතුරු භාජනය වී අධ්‍යාපනයේද යම් පසු බෑමකට ලක්වී ප්‍රථිකාර ලබා ගැනීමට සිදු විය.

2019 වර්ෂයේදී අග භාගයේදී මෙම දරුවා 04  වසරේ දී මෙම පන්තියට භාරයට පැමිණෙන ප්‍රදීප් පුෂ්පකුමාර ගුරුවරයා දරුවා පිළිබදව හොද අවධානයක් යොමු කොට දරුවා දිරිමත් කර ඇත.

කොවිඩ් වසන්ගතය මුල් අවධියේද මෙම දරුවා ගුරුවරයාගේ නිවසේද නවාතැන් ලබාදී අධ්‍යාපනයට දිරිමත් කර තිබේ. එයින් ශක්තිමත් වු  ධෛර්ය ලබා ගත් මෙම දරුවා නුපුරුදු වම් අතින්  උත්තර ලියා මේ ලකුණු 170 ලබා ගෙන ඇත.