තෝර්ට දැන් සුවයි


(සුජිත් හේවාජුලිගේ)

දෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් ආසාදිත සිංහයා ක්‍රම ක්‍රමයෙන් සුවය ලබමින් සිටින බවත් ඌ කුකුළු මස් පවා ආහාරයට ගෙන ඇති බවත් වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය .

සිංහයාට ආහාරය සඳහා කුකුළකුගේ මස් සහ තවත් ආහාර පෙරේදා ලබාදී තිබු බවත් කුකුළන් දෙදෙනෙකුගේ මස් ඊයේ ලබාදීමට කටයුතු සූදානම් කර තිබූ බවත් රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.

එසේම සිංහයා නැගිටීමටද උත්සාහ දරන බව ඔහු කීය.

මේ අතර සිංහ ධේනුවගේ පී.සී.ආර් වාර්තාව තවමත් ලැබී නැති බවත් එය අද හෝ හෙට ලැබීමට නියමිත බවත් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි .

සිංහ ධේනුවද සාමාන්‍ය පරිදි ආහාර ගනිමින් සුවසේ සිටින බව සත්වෝද්‍යාන ආරංචි මාර්ග සඳහන් කරයි.

කොවිඩ් ආසාදිත සිංහයාට ප්‍රතිකාර ලබාදීමට ඉන්දියාවේ සත්වෝද්‍යානවල පශු වෛද්‍යවරුන්ගේද සහය ලබාගෙන ඇතැයි වනජීවී රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

දෙහිවල සත්වෝද්‍යානයේ අනෙකුත් සතුන්ට කිසිදු ගැටළුවක් නැතැයි එහි නිලධාරීහු පවසති.