(නිමල කොඩිතුවක්කු)
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු හිඟ මුදල ගෙවීම සඳහා ලංකා බැංකුවෙන් රුපියල් කෝටි 1500ක ණය මුදලක් ලබා ගැනීමට තීරණය කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප‍්‍රකාශක සහ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂන ජයවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය.
ලංකා විදුලිබල මණ්ඩලයෙන් ලංකා ඛණිජ තෙල් සංස්ථාවට ගෙවීමට තිබෙන රුපියල් කෝටි 8000 කට අධික ණය මුදලින් කොටසක් ගෙවීමට රුපියල් කෝටි 1500ක ණය ලංකා බැංකුවෙන් ලබා ගන්නා බව ඔහු සඳහන් කළේය.
ලංකා ඛණිජ තෙල් සංස්ථාව මගින් ලංකා විදුලිබල මණ්ඩලයට ලබා දී තිබෙන ණය සීමාව පෙරේදා (08) වනවිට ඉක්මගොස් තිබූ අතර මේ හේතුවෙන් ඛණිජ තෙල් සංස්ථාව ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදීම නවතා දමා තිබිණි.
මේ හේතුවෙන් විදුලිබල ජනනයට බාධා එල්ල වූ අතර ඇතැම් ප‍්‍රදේශවලට විදුලිය සැපයිමේ සීමා කිරීමක්ද සිදුකෙරිණ.
හිඟ ණය මුදල ගෙවීම සම්බන්ධයෙන් මතු වූ එකඟතාවයක් මත ඊයේ (09) දිනයේ සිට ලංකා විදුලිබල මණ්ඩලයට යළි ඉන්ධන ලබා දීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළේය.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු හිඟ මුදලෙන් කොටසක් ගෙවීමෙන් පවතින අර්බුදය අවසන් කර පාරිභෝගිකයන් වෙත අඛණ්ඩව විදුලිය සැපයීමට හැකි වනු ඇති බවද ඔහු සඳහන් කළේය.
දිවයිනේ විවිධ ප‍්‍රදේශවලට පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට දෛනික විදුලි අවශ්‍යතාව ගිගා වොට් 47 කට ආසන්න වී තිබේ.
මේ හේතුවෙන් විදුලි බල මණ්ඩලයට අවශය විදුලියෙන් 85%ක් පමණ තාප විදුලි බලාගාර මගින් ලබා ගැනීමට සිදුව ඇති බවත් සුලක්ෂන ජයවර්ධන මහතා පැවැසීය.
පවතින වියළි කාළගුණ තත්වය අගෝස්තු මාසය වනතෙක් අඛණ්ඩව පැවතියහොත් දැඩි විදුලි අර්බුදටයකට මුහුණදීමට සිදුවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

