තෙල් පවිත්‍රාගාරයෙන් ජනතාවට සිදු හානියට වන්දි


(ඩයනා උදයංගනී)

අධික වර්ෂාව සමඟ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ, තෙල් පවිත්‍රාගාර පද්ධතියක් ජලයෙන් යටවී එහි වූ තෙල් අවට පරිසරයට එක්වීමෙන් සිදුවූ හානි වෙනුවෙන් ජනතාවට වන්දි ගෙවීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

මෙයින් ජනතාවට සිදුව ඇති හානිය නිරීක්ෂණය කළ බව කී ඇමතිවරයා එම හානි ගණනය කර වන්දි ගෙවීමට ද කටයුතු කරන බව ද සඳහන් කළේය.

තෙල් සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තෙල් මිශ්‍රිත ජලය පිරිසුදු කිරීමට භාවිතා කරන බිම් මට්ටමේ පිහිටි පවිත්‍රාගාර පද්ධතියක්,  මෙසේ වැසි ජලය එක්ව පිටාර ගොස් ඇති අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට අද (6) එම පිරිපහදුවේ සහ ඒ අවට ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

මෙම පවිත්‍රාගාර පද්ධතිය වසර 50ක් පමණ පැරණි එකක් බව කී ඇමතිවරයා යලි මෙවැන්නක් නොවන ආකාරයෙන් පවිත්‍රාගාර පද්ධතිය වැඩි දියුණු කරන්නැයි තෙල් සංස්ථා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

තෙල් බාහිර පරිසරයට එක්වීම හේතුවෙන් සපුගස්කන්ද අවට නිවෙස්වලට සහ අවට පරිසරයට ද දැඩි හානි සිදුව තිබිණි.

ගං වතුර සමඟ මුසුවී අවට පරිසරයට එක්වූ තෙල් ඉවත් කර එම තත්වය පාලනය කිරීමට තෙල් සංස්ථාව, නාවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය, ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ඇතුළු ආයතන එක්ව මේ වන විට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ද මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමතිවරයා කීවේය.


මේ හේතුවෙන් තමන්ගේ ළිංවල ජලය භාවිතා කළ නොහැකි බවට ජනතාව පැමිණිලි කර ඇතත්, ජල නලවලින් එන ජලයට මෙයින් කිසිම හානියක් නැති බව ජලසම්පාදන මණ්ඩලය සඳහන් කර ඇතැයි ද ගම්මන්පිල මහතා සඳහන් කළේය.


 නමුත් ජනතාව ඒ සම්බන්ධව බියකින් පසු වන නිසා ඔවුන්ට කඩිනමින් ජලය සැපයීමට පියවර ගන්නා බවත් යළිත් මෙවැනි ප්‍රශ්නයක් ඇතිනොවීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ සාකච්ඡාවක් අනිද්දා (8) පවත්වන බවත් ඇමතිවරයා පැවසීය.