තායිලන්ත රජයෙන් වෛද්‍ය උපකරණ තොගයක්


( තිළිණි ද සිල්වා)

මෙරට රජයේ රෝහල් වලට අවශ්‍ය වී තිබූ ඔක්සිජන් ටැංකි 108ක් , ඔක්සිජන් සාන්ද්‍රක , ඔක්සි මීටර ඇතුළු කොවිඩ්-19 ආශ්‍රිත වෛද්‍ය උපකරණ තොගයක පරිත්‍යාගයක් වශයෙන් තායිලන්ත රජයෙන් ඊයේ (01) මෙරටට ලැබුණු බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.

එම උපකරණ තොගය අතර ඔක්සිජන් සාන්ද්‍රක 30 ක්, වෙන්ටිලේටර් 02 ක්, ඔක්සිජන් ටැංකි 108 ක්, නියාමක/කැනියුලා කට්ටල 62 ක්, ස්පන්දන ඔක්සිමීටර් 160 ක් සහ පුද්ගලික ආරක්‍ෂක උපකරණ කට්ටල 150 ක් වන බවද එම අමාත්‍යාංශය කියා සිටී.

මෙම වෛද්‍ය උපකරණ තොගය සංකේතාත්මක ර්‍ශී ලංකා රජය බාර දීම ඊයේ (01) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සිදු කරනු අතර කොළඹ රාජකීය තායි තානාපති කාර්යාලයේ කාර්ය භාර නිලධාරි තයාතාත් කංජනාපිපට්කුල් මහතා විසින් විදේශ අමාත්‍යාංශ ලේකම් ජයනාත් කොළඹගේ මහතා එම ප්‍රදානය බාරගන්නා ලදී.

ඉන් අනතුරුව මෙම පරිත්‍යාගය, දිවයින පුරා කොවිඩ් -19 රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් වෙත බෙදා හැරීම පිණිස ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය ආර්.එම්.එස්.කේ. රත්නායක මහතා වෙත ඊයේ දිනයේදීම භාර දෙන ලදී. තායිලන්තයේ විදේශ කටයුතු අමාත්‍යාංශය, තායිලන්තයේ යුනෙස්කැප් සංවිධානය, සොම්ඩෙට් ප්‍රා ඥානසම්වර සොම්ඩෙට් ප්‍රා සංඝරාජ් වට් විහාරස්ථානය, බොවෝරනිවස් විහාර පදනම, තායිලන්තයේ ශ්‍රී ලංකා සංගමය, තායි-ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ කොළඹ රාජකීය තායි තානාපති කාර්යාලය මෙම පරිත්‍යාගය සඳහා දායක වී ඇත.

බැංකොක්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම උපකර තොගය කටාර් ගුවන් සේවයේ අනුග්‍රහය යටතේ ගුවන් මගින් ප්‍රවාහනය කිරීම සඳහා සම්බන්ධීකරණය කළ බවද අමාත්‍යාංශය කියා සිටී.

ඡායාරූප කැප්ෂන්

තායිලන්තයෙන් පරිත්‍යාග ලෙස ලැබුණු කොවිඩ් උපකරණ තොගය කොළඹ රාජකීය තායි තානාපති කාර්යාලයේ කාර්ය භාර නිලධාරි තයාතාත් කංජනාපිපට්කුල් මහතා විසින් විදේශ අමාත්‍යාංශ ලේකම් ජයනාත් කොළඹගේ සහ ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය ආර්.එම්.එස්.කේ. රත්නායක මහත්වරුන්ට ඊයේ (01) සංකේතාත්මකව බාරදුන් අයුරු ඡායාරූපයේ දැක්වේ.