ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සංස්ථාවට ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්


(ශිරාන් රණසිංහ)

ත්‍රීකුණාමල , චීන වරාය පරිශ්‍රයේ පිහිටි තෙල් ටැංකි 99 සහ අක්කර 700 ක ඉඩම ඉන්දීය තෙල් සමාගමට පවරා දුන් ලියවිල්ල  නිත්‍යනුකූල නොවන බවට ප්‍රකාශ කර යළි එම ටැංකි සංස්ථාවට පවරා දෙන ලෙස ඉල්ලමින් සමිති හතරක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතාවාසිකම් පෙත්සමක් ගොනුකළ බව ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ ලේකම් ඩී.ජේ රාජකරුණා මහතා පැවැසීය.

2003 පෙබරවාරි 7 වැනිදා ඉන්දීය තෙල් සමාගම හා අත්සන් කළ ලියවිල්ලක් මත මෙම තෙල් ටැංකි සහ ඉඩම එම සමාගමට පැවරුවද මාස 6ක් තුළ විධිමත් බදු ගිවිසුමක් ඇති කර ගතයුතු කොන්දේසිය ඉටු නොවීම පදනම් කරගෙන මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකළ බවද ඒ මහතා කියා සිටියේය.

කොළඹ කොටුව සේවා මුක්ත භට සංගම් මූලස්ථානයේ පැවැති මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ඛණිජ තෙල් පොදු සේවක සංගමය , ඉන්ජිනේරු සංගමය , ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය නියෝජනය කරමින් නියෝජිතයින් කිහිපදෙනකු එක්ව සිටියහ.