ත්‍රිරෝද කොල්ල කල්ලියක තිදෙනකු අල්ලයි


(කේ. බුද්ධික කුමාරසිරි)


ත්‍රිරෝද රථ කොල්ලකා අලෙවි කරන කල්ලියක සැකකරුවන් තිදෙනෙකු  සොරාගත් ත්‍රිරෝද රථ 03 ක් සමඟ අත්අඩංගුවට ගත් බව කොස්ගම පොලිසිය පවසයි.

යුද හමුදාවෙන් පලා ගිය දෙදෙනෙකු ද ඇතුළු කල්ලියක් විසින් දීර්ඝකාලීනව සිදුකළ ත්‍රිරෝද රථ සොරකම් රැසක් මෙලෙස අනාවරණය කර ගැනීමට කොස්ගම පොලිසියේ අපරාධ විමර්ෂණ අංශ නිලධාරීන් ට හැකි වී ඇත.

පසුගිය මාර්තු 19 වන දින කොස්ගම - කනම්පැල්ල ප්‍රදේශයේදී සිදු වූ ත්‍රිරෝද රථ සොරකමක් සම්බන්ධයෙන් කොස්ගම පොලිසිය විසින් CCTV ඔස්සේ සිදුකළ විමර්ෂණ වලදී ගනේමුල්ල ප්‍රදේශයේ තිබී එම ත්‍රිරෝද රථය සොයාගෙන ඇති අතර  , එහිදී සැකකරුවෙකු ද අත් අඩංගුවට ගෙන ඇත.

පසුව එම සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලින් හෙලි වූ කරුණු මත , මීට පෙර සොරකම් කර තිබූ තවත් ත්‍රිරෝද රථ දෙකක් ද සමඟ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.