ත්‍රස්ත පනත අහෝසියෙන් දරුණු අපරාධකරුවන් එළියට යන අවදානමක්


(සුජිත් හේවාජුලිගේ)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනු ලැබුවහොත් එම පනත යටතේ රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවන් නිදහස් වීමේ අවදානමක් පවතින බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය.

එසේ හෙයින් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කරන ගමන්ම සංවිධානාත්මක අපරාධ පනත කරළියට  ගෙන ආ යුතු බවද ඔහු සඳහන් කළේය. සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීමට එම පනත ඉතා වැදගත් බවද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය . සැප්තැම්බර් මස මුලදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන කෙටුම්පත ගැසට් කිරීමට කටයුතු කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් පසුගියදා පැවසීය.

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා කියන එක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිව සඳහන් වෙන දෙයක්. සැප්තැම්බර් මුල වෙනකොට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන කෙටුම්පත ගැසට් කරන්න අපි කටයුතු කරනවා යැයිද   ඔහු සඳහන් කළේය. විජිත හේරත් මහතා මෙසේ පැවසුවේ ඉකුත් 22 වැනිදා  පාර්ලිමේන්තුවේදී අදහස් ඉදිරිපත් කරමිනි.