තවත් නියෝජ්‍ය පොලිස්පතිවරයකු-ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු ගැන විමර්ශනයක්


(නිමන්ති රණසිංහ )

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර පිටියේ පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාරවලට පහර දීමේ සිද්ධියට අදාළව එම ගැටුම වලක්වා නොගැනීම සහ රාජකාරිය පැහැරහැරීම පිළිබඳව  බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අමතරව නියෝජ්‍ය පොලිස්පතිවරයකු හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ අද (20) වාර්තා කළේය .

මෙම සිද්ධිදාමය ට අදාළ ප්‍රධාන සිද්ධීන් හයක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනය සිදු කර ඇති බවත් ඊට සම්බන්ධ සියලුම සැකකරුවන් මේ වන විට වන විට අත්අඩංගුවට ගෙන අවසන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේ ය .

මයිනා ගෝ ගම සහ ගෝඨා ගෝ ගම යන සාමකාමී විරෝධතා ව්‍යාපාරවලට පහර දීමේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (20) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ මෙම කරුණු ඉදිරිපත් විනි.

මෙම සිද්ධීන් වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් හංවැල්ල  සමුපකාර සමිතියේ නිලධාරියකු සහ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්‍රීවරියක හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ආවරණ සහිත ව අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් සාක්ෂි කරුවන්ට ඔවුන් නැවත දුටුවොත් හඳුනාගත හැකි යන පදනම මත ඔවුහු හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීය.

මෙම සිද්ධියට අදාළව ආන්දෝලනාත්මක සිද්ධි හයක් හඳුනාගෙන තිබූ බවත් එම සිද්ධීන් හය සම්බන්ධයෙන් විමර්ශන අවසන් කොට ඊට අදාළ සැකකරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය .

කෙසේ නමුත් මෙම සිද්ධීන් වලක්වා නොගැනීම රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ පැවැත්වෙන අතර නිලධාරීන් දෙදහසකට වඩා වැඩි පිරිසක් එම ස්ථානයේ සිටි බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

අරලියගහ මන්දිරය ඉදිරිපිට ස්ථානයේදී පහරදීම පිළිබඳව විමර්ශන දිගටම සිදු කරමින් පවතින අතර එම ස්ථානයේ කැරළි මර්දන ඒකකය මෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ ජේෂ්ඨ පොලිස් අධිකාරි වරයකු සිටි බවට කරුණු අනාවරණය වන අතර ඔවුන් මෙය වළක්වා ගැනීමට කටයුතු කර නැතැයිද නැතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය .

සාමාන්‍යයෙන් උද්ඝෝෂණයක් වැළැක්වීම සඳහා පොලීසිය විසින් මාර්ග බාධක ගණනාවක් යොදනු ලබන අතර මේ අවස්ථාවේදී එසේ නොකළේ මන්දැයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කර සිටියේය.

ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මෙම ප්‍රහාරය පිළිබඳව කලින් තොරතුරු ලැබුණා ද යන්න බුද්ධි අංශ වාර්තා ද ලබා ගනිමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය .

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා අද දින ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනා ලබන 25 වැනි දා හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර සියලුම සැකකරුවන්ට බන්ධනාගාරය තුළ ආරක්ෂාව සලසන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.