තල්මසාගේ සිරුරේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝ 6 ක්


ඉන්දුනීසියාවේ ජාතික උද්‍යානයක වෙරළට ගොඩගසා තිබූ මියගිය තල්මසෙකුගේ සිරුරේ කිලෝ 06ක් බර ප්ලාස්ටික් අපද්‍රව්‍ය තොගයක් තිබී හමුවූ බව උද්‍යාන බලධාරීහු පවසති.


එම  තොගයේ ප්ලාස්ටික් කෝප්ප 115ක්, ප්ලාස්ටික් බෝතල් හතරක් සහ ප්ලාස්ටික් බෑග් 25ක් තිබී ඇත.


දිගින් මීටර් 9.5ක් වූ මෙම තල්මස් සිරුර සොයාගනු ලැබුවේ ඉන්දුනීසියාවට අයත් වකටෝබි ජාතික උද්‍යානයේදී ය. 


මෙම අණාවරනය පාරිසරික විද්‍යාඥයන් අතර මහත් තැතිගැන්මකට හේතු වී ඇතැයි පැවසේ.


මෙම සතා මියගිය හේතුව නිශ්චිතවම නොදන්නා නමුත් පෙනෙන්නට තිබෙන තත්ත්වය ඉතාමත් භයානක බව ඔවුහු පවසති.


ප්ලාස්ටික් අපද්‍රව්‍ය අක්‍රමවත්ව ඉවත දැමීම ඉන්දුනීසියාව ඇතුළු ගිණිකොදිග ආසියානු රටවල බරපතල ගැටලුවක් බවට පත් වී ඇතැයි පරිසර වාර්තා පෙන්වා දෙයි. චීනය, ඉන්දුනීසියාව, පිලිපීනය, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් පහෙහි බැහැර කරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් සියයට 60ක් සාගරවල තැන්පත් වන බව ද සඳහන් වේ.


 මේ වනවිට සාගරවල තැන්පත්ව ඇති ප්ලාස්ටික් ප්‍රමාණය තව දස වසරකින් තෙගුණයක් වන බව පරිසරවේදීහු පවසති.
 
(බීබීසි ඇසුරිණි - 085)