තරිඳු


(නිමන්ති රණසිංහ)

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මුහුණු පොතින් මාධ්‍යවේදියකුගේ ජීවිතයට තර්ජනයක් වන අයුරින් ප‍්‍රතිචාර දක්වා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණීලි දෙකක් විමර්ශනයට අදාළව ඉදිරියේදී පොලිස්පතිවරයා විසින් තීරණයක් ගනු ලබනු ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට මාධ්‍ය සංවිධාන හයකින් යුක්තව එක් පැමිණීල්ලක් ද, මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා විසින් තවත් පැමිණීල්ලක් ද වශයෙන් පැමිණීලි දෙකක් ලැබී ඇති බව අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

තමන් ලියූ ප‍්‍රවෘත්ති අසත්‍ය බව කියමින් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මුහුණු පොත ඔස්සේ තමාගේ ජීවිතයට තර්ජනයක් වන අයුරින් ප‍්‍රතිචාර දක්වා ඇතැයි සඳහන් කරමින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා පොලිස්පතිවරයා වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ ඉකුත් 03 වැනිදාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙසත් ඊට අදාළව විධිමත් පරීක්ෂණයක් සිදුකොට මාධ්‍යවේදියාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ඉල්ලමින් මාධ්‍ය සංවිධාන හයක එකමුතුවක් පොලිස්පති සී ඞී වික‍්‍රමරත්න මහතා වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ ඉකුත් 02 වැනිදාය.

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, දෙමළ මාධ්‍ය සංසදය සහ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙම පැමිණීල්ල ඉදිරිපත් කර තිබිණී.