තනිපුද්ගල කැමැත්තට පත්කළ අය පළාත් පාලනය කිරිම අනුමත කරන්න බෑ


(විනීතා එම් ගමගේ)
          
පළාත් මට්ටමින් ජනතාව තෝරාගත් නියෝජිතයින් වෙනුවට ජනාධිපතිවරයාගේ තනි කැමැත්තට  පත් කළ ආණ්ඩුකාරවරුන් යොදවා පළාත් සභා පවත්වාගෙන යාම අනුමතකළ නොහැකි යැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ) කියයි.

පළාත් සභා මැතිවරණ නිසි කළට නොපැවැත්වීමෙන් මේ වනවිට පළාත්වල පරිපාලන ගැටළු රැසක් ඇතිවී ඇතැයි ද එම සංවිධානය පෙන්වා දෙයි.

ඌව හැරුණු විට අනෙක් සියලු පළාත් මේ වනවිට නිල කාලය අවසන් කර ඇති අතර එම  පළාත් සභා මේ වනවිට පාලනය කරනු ලබන්නේ ආණ්ඩුකාරවරුන් විසින් බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා පැවැසීය.

රජය විවිධ හේතු දක්වමින් පළාත් සභා මැතිවරණය නොපවත්වා ආණ්ඩුකාරවරුන් යටතේ දිගටම එම පළාත් පාලනය කිරීම මඟින් ජනතා පරමාධිපත්‍ය බලය උල්ලංඝණය වන බව ද ඒ පළාත් සඳහා සීමානිර්ණ කිරීම් අවසන් නොමැති නම් පැරණි ක‍්‍රමයට හෝ මැතිරවණය පැවැත්වීමට රජය කටයුතු කළ යුතු යැයි ද හෙතෙම සඳහන් කළේය.

දිගින් දිගටම මැතිවරණ නොපැවැත්වීමෙන් පාලන ක‍්‍රමය පිළිබඳ ජනතා විශ්වාසය පළුදු වී යන බවත් ඒ ඔස්සේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිඳවැටීමේ අනිසි ප‍්‍රතිවිපාක අත්විඳීමට සිදුවනු ඇති බවත් මනාස් මහතා තවදුරටත් කියාසිටියේය.