තට්ටු ගොඩනැගිල්ලෙන් වැටී ඉන්දීය ජාතිකයා මරුට


(  සිතුම් චතුරංග)

වවුනියාව, නගරයේ රන් භාණ්ඩ අලෙවිසැළක සේවය කළ ඉන්දීය ජාතිකයකු එම අලෙවිසැලේ ඉහළ මාලයෙන් බිමට ඇදවැටී මියගොස් ඇතැයි වවුනියාව පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා තවත් කිහිපදෙනකු රන්භාණ්ඩ අලෙවිසැලේ තුන්වන මහලේ රැදී සිටි අතර එහිදී ඇදවැටී මියගොස් ඇති බව පොලිසිය පැවසීය.

එලෙස මියගොස් ඇත්තේ ඉන්දියාවේ තමිල්නාඩු හි පදිංචි සංදීප් සවංතා නැමති වයස අවුරුදු 36 පුද්ගලයකු වේ.

පොලිසිය පැවසූයේ මියගිය පුද්ගලයා සිත්තැවුලක් හේතුවෙන් සියදිවි නසාගැනීම සඳහා ඉහළ මාලයෙන් බිමට පැන ඇති බවට විමර්ශන වලදී අනාවරණයවූ බවත් එ පිළිබඳ තවදුරටත් විමර්ශන සිදුකරන බවත්ය.

සිද්ධිය වන අයුරු සි.සි.ටි.වි දර්ශන වල සටහන්ව ඇති බවත් මියගිය පුද්ගලයා සමඟ රැදී සිටි පිරිසගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බවත් පැවසීය.

මියගිය පුද්ගලයාගේ සිරුර සම්බන්ධයෙන් ඉන්දීය තානාපති කාර්යාලය දැණුවත් කිරීමෙන් අනතුරුව  මරණ පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබුණි.

වවුනියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.