(සුජිත් හේවාජුලිගේ )
දේශීය දියර කිරි වෙළඳ පොළට හඳුන්වාදීම සඳහා දේශීය කිරි නිෂ්පාදන සමාගම් භාවිතා කෙරෙන ඇසුරුම් ඩොලර් ප්‍රශ්නය නිසා කොළඹ වරායේ විශාල වශයෙන් හිරවීමෙන් දියර කිරි වෙළෙඳ පොළට හඳුන්වාදීමට ගැටලුකාරී තත්වයක් මතුවී ඇතැයි වාර්තා වේ.
දියර කිරි ඇසිරීම සදහා භාවිත කෙරෙන ඇසුරුම් බොහෝ දුරට මෙරට නිෂ්පාදනය නොකෙරෙන අතර ඒවා ඉන්දියාව සහ සිංගප්පූරුව යනාදී රටවලින් ආනයන කෙරෙන බව දේශීය කිරි නිෂ්පාදන සමාගම් පවසයි.
මේ සම්බන්ධයෙන් අප ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල සුමිත් මාගමගේ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ
කොළඹ වරායේ මෙලෙස හිරවී තිබූ ඇසුරුම් ලක්ෂ තුනක් පසුගිය දිනක නිදහස් කරගත් බවයි.
ඇමරිකානු ඩොලර් තිස් හයදහස් තුන් සියයක් පමණ වටිනා එම ඇසුරුම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 13ක අමතර ගුදම් ගාස්තු ගෙවීමට සිදුවූ බවද ඔහු සඳහන් කළේය.
මේ අතර දියර කිරි ඇසිරීම සදහා ආනයනය කෙරෙන ඇසුරුම් සඳහා රජය සියයට 5 ක ක අමතර බද්දක් අයකිරීම කර්මාන්තය පවත්වාගෙන යෑමට ලොකු බාධාවක් හෙයින් එම බද්ද ඉවත් කර දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි මහාචාර්ය සුමිත් මාගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.

