ඩොයිලිලාගේ ක‍්‍රමයට ඉඩ දෙන්න එපා


(මුදිතා දයානන්ද)

විදේශිකයන්ට පන්දම් අල්ලන, විදේශිකයන්ගේ චින්තනය කරේ තියාගෙන යන ඔවුන්ගේ න්‍යාය පත‍්‍ර අනුව කටයුතු කරන ඩොයිලිලාගේ ක‍්‍රමය මේ රටේ ක‍්‍රියාත්මක කිරිමට උත්සාහ කරන දේශපාලඥයින්ට ඌව වෙල්ලස්ස අරගලයෙන් පාඩම් කියාදීම මේ රටේ ජනතාවගේ වගකීමක් යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (30) පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුයේ ඌව වෙල්ලස්ස නිදහස් අරගලයේ දෙසියවස් සැමරුම් උත්සවයට සහභාගි වෙමිනි. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී මෙම උත්සවය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේද සහභාගිත්වයෙන් පැවැත්විණ.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත‍්‍රීපාල මහතා මෙසේද පැවසීය.

   ‘‘අවුරුදු දහස් ගණනක ශ්‍රේෂ්ඨ ඉතිහාසය ගුරුවරයෙක් ලෙස අපට කෙතරම් පාඩම් කියාදෙනවාද. අපි ඌව වෙල්ලස්ස අරගලය ගැන කතා කළ යුත්තේ ඒ පාඩම් ඉගෙන ගැනීමටයි.

අවුරුදු හැත්තෑවක නිදහසක් ගැන අපි කතා කළත් එය පොතට ,ව්‍යවස්ථාවට නීතියට පමණක් සීමා වෙලා. ඇත්තට රටේ ජනතාවගේ මනස නිදහස් වෙලා නැහැ. ඔවුන් තවමත් යටත් විජිතවාදයට ඔලූව නවන මනසක් සහිත ජනතාවක්. ඒ සමාජය අපිව වෙනත් ලෝකයකට ගෙනියන්න හදනවා. අද ඇත්ත දේශපේ‍්‍රමියා හා දේශද්‍රොහියා හඳුනාගන්න ජනතාවට නොහැකි වෙලා.

කවදත් සටන්කාමී ශ‍්‍රී ලාංකික ජනතාව, සමගියෙන් සටන් දිනූ ජනතාව බේද භින්න කරන්නට ඩොයිලිට හැකිවුණා. එයින් ඔවුන් සටන දිනුවා. අදත් එවැනි ජෝන් ඩොයිලිලා නැවත ඉපදීලා. ඔවුන්ට එරෙහිව සටන් කිරිම ඔබේත් මගේත් වගකීමක්.‘‘යැයි ජනාධිපතිවරයා පැවැසීය.

ඡායාරූප- ඉෂාන් සංජීව