ඩල්ජිත්ට ඇප


(මහේෂ් කීර්තිරත්න)
 

මාතලේ නාගරික මන්ත්‍රීවරයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා ඇප මත මුදාහැරීමට මාතලේ මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ඉන්දික අත්තනායක මහතා අද(09) නියෝග කළේය.

රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඒ මහතා මුදාහැරීමට මෙහිදී නියෝග කෙරිණි.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි අලුවිහාරේ මහතාගේ රියදුරු වන පුවන් කුමාර යන අයද ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඉකුත් 07 වෙනිදා නගරාධිපතිවරයා හා ඔහුගේ රියදුරු ලෙස කටයුතු කරනු අයෙකු මාතලේ නගරයේදී තමාට පහරදුන් බවට එම්. මෝගන් නැමති නාගරික මන්ත්‍රීවරයා මාතලේ පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව නගරාධිපතිවරයාව හා ඔහුගේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

නගරාධිපතිවරයාගේ රියදුරු සහ පහරකෑමට ලක්වූ බව කියන නාගරික මන්ත්‍රීවරයා අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇත.
 
ඇප ලැබිමෙන් පසුව අධිකරණයනේ පිටතට පැමිණි නගරාධිපති ඩල්ජිත් අලුවිහාර් මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ අධිකරණයේ ස්වාධීනව කටයුතු කිරීම නිසා තමන්ට ඇප හිමිවු බවත්ය. තමන් නගරයේ ප්‍රධාන පුරවැසියා බව කී ඒ මහතා පොලිසියේ ක්‍රියා කලාපය හෙළා දකින බවත් නාගරික මන්ත්‍රීවරුන් තිදෙනෙකු කළ කුමන්ත්‍රණයක් හේතුවෙන් මෙම තත්වය ඇති වූ බවද පැවැසීය.