(මනෝප්‍රිය ගුණසේකර)
සමගි ජනබලවේගයේ සභාපති හා මහ ලේකම් ධූර දැරීමෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරුන් වළකාලන්නැයි ඉල්ලමින් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවරූ නඩුව සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් මැයි 22 වැනිදා ගොනු කරන ලෙස කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය ඊයේ (31) නියෝග කළාය.
වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරන පුද්ගලයින්ට සමගි ජන බලවේගය ව්‍යවස්ථාව අනුව මෙම පක්ෂයේ තනතුරු දැරීමට හැකියාවක් නැතැයි සඳහන් කරමින් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවරූ නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබා දෙන්නැයි වගඋත්තරකාර පාර්ශවයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරිය එලෙස නියම කළාය.
සමගි ජන බලවේගය පක්‍ෂයේ ව්‍යවස්ථාවට අනුව වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරණ පුද්ගලයෙකුට සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය දැරිය නොහැකි බව සඳහන් කරමින් ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කොට ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරු නම් කොට ඇත.
වගඋත්තරකාර සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරු වෙනත් පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කරන බවත් ඔවුන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විනය ක්‍රියාමාර්ග ගත් අවස්ථාවේ ඊට එරෙහිව මෙම වගඋත්තරකරුවන් වෙනත් අධිකරණයක පිහිට ඉල්ලා නඩු පවරා ඇති බවත් සඳහන් කරන පෙත්සම්කාරිය වගඋත්තරකරුවන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කරන හෙයින් ඔවුන්ට සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය දැරීමට පක්ෂ ව්‍යවස්ථාවට අනුව හැකියාවක් නැති බවත් සඳහන් කොට ඇත”
එහෙයින් සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන්ට සමගි ජනබලවේගය පක්‍ෂයේ තනතුරු දැරීමට නොහැකි හෙයින් ඔවුන් එම පක්‍ෂයේ කටයුතු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම්කාරිය ඉල්ලා සිටින්නීය”
පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග කළ විනිසුරුවරිය පෙත්සම ලබන මැයි 22 වැනිදා කැඳවීමටද නියම කළාය.

