ටෝකියෝ මහාධිකරණයෙන් ලාංකිකයින් දෙදෙනකුට වන්දියක්


( තිළිණි ද සිල්වා )

නීතිමය පියවර ගැනීම අවස්ථාව ලබා නොදී ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ජපානයෙන් පිටුවහල් කිරීමට ජපන් අගමන විගමන දෙපාර්තමේන්තු ගෙන තිබූ  තීරණයක් නීතිවිරෝධි බව තීන්දු කළ ටෝකියෝ මහාධිකරණය එම ලාංකිකයින්ට ජපන් යෙන් ලක්ෂ 6 ක ( ශ්‍රී ලංකා මුදලින් රුපියල් දස ලක්ෂ අනූ තුන්දහස් අටසිය තිස් නමයක් ) වන්දි මුදලක්  ගෙවන ලෙසට ජපන් රජයට  නියෝගය කර ඇතැයි ජැපෑන් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

තමා ජපානයෙන් පිටුවහල් කිරීමට එරට ආගමන විගමන අධිකාරිය ගෙන ඇති තීරණයට එරෙහිව එම  ලාංකිකයින් දෙදෙනෙකු යෙන් මිලියන 10 ක වන්දි ඉල්ලා මෙම පැමිණිල්ල ගොනු කළ අතර එම පැමිණිල්ල පිළිබද තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම නියෝගය කර ඇත.

ටෝකියෝ මහාධිකරණයේ සභාපති විනිසුරු යුමේකා හිරාත් මහතා සිය  තීන්දු ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ මෙම ශ්‍රී ලාංකිකයින් දෙදෙනාට සරණාගත තත්ත්වය ලබා නොදීම සම්බන්ධයෙන් නඩු විභාගයක් ලබා ගැනීමට ජපන් ආගමන විගමන දෙපාර්තමේන්තුව අවස්ථාව නොදීමෙන් ජපන් ව්‍යවස්ථාවේ 32 වැනි වගන්තිය උල්ලංඝනය කිරීමක් බවත් , ඒ අනුව ඒම ක්‍රියාව නීතියට පටහැනි බවත්ය.

ඒ අනුව ඔවුන්ට යෙන් ලක්ෂ 6ක් ගෙවන ලෙස ජපන් රජයට නියෝග කරන බවද ටෝකියෝ මහාධිකරණ විනිසුරුවරයා ගේ තීන්දුවේ සදහන් වේ.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා කියා සිටියේ මෙය ඉතිහාසගත නඩු තීන්දුවක් බවත් , ජපන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විදේශිකයෙකුට සරණාගතභාවය ලබා නොදී පිටුවහල් කිරීමට ගත් තීරණය ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කළ පළමු අවස්ථාව මෙය වන බවය.

ඒ අනුව ටෝකියෝ මහාධිකරණය එම ක්‍රියාව නීතියට පටහැනි තීන්දු කර ඊට වන්දි ලෙස ජපන් යෙන් ලක්ෂ 6 ක් එම  ලාංකිකයින් දෙදෙනාට ගෙවන්නැයි ජපාන රජයට නියෝග කළ බවද ජපෑන් ටයිම්ස් වාර්තාවේ සදහන් වේ.