ට්විටර් කාර්යමණ්ඩලයට නිවෙස්වල සිට සේවය කරන්නැයි දන්වයි


මාරාන්තික නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ලොව පුරා සිටින ට්විටර් කාර්යමණ්ඩලවලට නිවෙස්වල සිට සේවය කරන්නැයි එම සමාගම දැනුම් දී ඇත.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 68කට ව්‍යාප්ත වී තිබේ. කොරෝනා වයිරසයෙන් මියගිය සංඛ්‍යාව 3,100 ඉක්මවා ගොස් තිබෙන අතර 90,000කට වැඩි පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ බොහෝ රටවල් සංචාරක තහනම් හා සීමා ද පැනවීමට ද පියවර ගෙන ඇත.

වයිරසයෙන් වැඩි බලපෑමක් සිදුව ඇති ප්‍රදේශවල රාජ්‍ය සේවකයන්ට ද නිවෙස්වල සිට සිය රාජපකාරීවල නිරත වන්නැයි බලධාරීන් උපදෙස් දී ඇත. ඒ අනුව සිය කාර්යමණ්ඩලයට ද කාර්යාලවලට නොපැමිණ නිවෙස්වල සිට සේවයේ නිරත වන්නැයි ට්විටර් සමාජජාල සමාගම සිය සේවකයන්ට දැනුම් දී ඇත.

‘‘ගෝලීයව විසිරී සිටින අපේ සේවකයන්ට පුළුවන්නම් ගෙදර ඉඳන් වැඩ කරන්නැයි අපි ඉල්ලා සිටිනවා’’ යැයි ට්විටර් සමාගමේ මානව සම්පත් කටයුතු පිළිබඳ ප්‍රධානී ජෙනිෆර් ක්‍රිස්ට් පැවැසුවාය.

‘‘අපේ අරමුණ කෝවිඩ්-19 වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීමයි. අපත් අප අවට ලෝකයත් කොරෝනා වයිරසයට ගොදුරු වීම නැවැත්විය යුතු’’ යැයි ද ඇය කීවාය.

දකුණු කොරියාව, ජපානය සහ හොංකොං හි පිහිටි ට්විටර් කාර්යාලවල සේවකයන්ට නිවසේ සිට සේවය කිරීම අනිවාර්ය කර ඇත.

ඒ.එෆ්.පී.

055