
(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
බුද්ධාගම ඇතුළු අනෙකුත් ආගම්වලට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කළා යැයි පවසන දේවගැති ජෙරොම් ප්‍රනාන්දු වහාම අත් අඩංගුවට ගෙන විමර්ශන පවත්වා ඔහුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන ලෙසට නියෝග කරන්නැයි ඉල්ලා ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු ආගමික නායකයන් සය දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
ඇල්ලේ ගුණවංශ හිමි. බෙංගමුවේ නාලක හිමි, මවුලවි හසන් මොහොමඩ්, ස්වාමි රාමනාදන් කුරක්කල් ෂරිමා සහ ෂිහාන් කුරේ පියතුමා ඇතුළු සය දෙනකු විසින් ගොනුකර ඇති මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් නියෝජ්‍ය පොලිස්පති (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව), පොලිස්පති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
නීතිඥ අසෝකා නිවුන්හැල්ල මහත්මිය විසින් ගොනුකර ඇති මෙම පෙත්සමේ මෙසේද සඳහන් වේ.
බුදුන් වහන්සේට සහ බුදු දහමට මෙන්ම වෙනත් ආගම් කිහිපයකට අපහාස වන අයුරින් ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා පසුගියදා පැවති සම්මන්ත්‍රණයකදී ප්‍රකාශ කිහිපයක් සිදු කර ඇත. මෙම ප්‍රකාශ වලට විරෝධය පා විවිධ ආගමික නායකයන් සිය විරෝධය එල්ල කර තිබේ. මෙම ප්‍රකාශ හේතුවෙන් ජාතීන් අතර භේදයක් ඇති වී ජාතික සංහිඳතාවය නැතිවේ. ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා අත් අඩංගුවට ගෙන මේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් සිදු කළ යුතු වේ.

