ජුලි 18 - 19 විදුහල්පතිවරු - ගුරුවරු ලෙඩ වෙති


(දයාරත්න ඇඹෝගම)

ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල්කර ගනිමින් ජුලි මස 18,19 යන දෙදින අසනිප නිවාඩු වාර්තා කර පාසල් වර්ජනය කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අද (10) අනුරාධපුරයේදී පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ උතුරු මැද හිටපු මහ ඇමති රංජිත් සමරකොන් මහතාගේ සම්බන්ධීකරණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

බි.සි.පෙරේරා වැටුප් විෂමතා කමිටු නිර්දේශය පරිදි වැටුප් විෂමතා ඉවත් නොකිරීම, අධ්‍යාපනය සඳහා පොරොන්දු වූ පරිදි 6%ක මුදලක් වෙන් නොකිරීම, 2016 වසරේ සිට ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුව සහ ඉගැන්වීමේ ක්‍රියාවලියට අමතරව ගුරුවරුන් ලවා සිදුකරන අනවශ්‍ය කොළ පිරවීමට එරෙහිව මෙලෙස ජුලි මස18 හා 19 යන දෙදින ලෙඩ නිවාඩු දැමීමට ගුරු සංගම් තීරණය කර ඇතැයි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය මෙහිදී පැවසුවාය.

වැඩිදුරටත් මේ සම්බන්ධයෙන අදහස් දක්වමින් වසන්තා හදපාන්ගොඩ මහත්මිය මෙසේද පැවසුවාය.

‘අපි ගුරු විදුහල්පතිවරුන්ගේ අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් ඉතිහාසය පුරා දිගින් දිගටම සටන් කළා.අපි කිසි අවස්ථාවක ගුරුවරුන්ගේ සටන්, ඉල්ලීම් පවා දීලා නැහැ. සමහර අවස්ථාවල සටනට විරාමයක් දුන්නා. රටේ පැවතුණ තත්වය අනුව සාමය ආරක්ෂා කර ගැනීමට, ඉල්ලීම් දිනා ගැනීම සඳහා දිගින් දිගටම කටයුතු කළා. ගුරු විදුහල්පතිවරුන්ට ගැටළු කිහිපයක් තියෙනවා.

එකක් තමයි වැටුප් විෂමතා ඉවත්කර ගැනීම බි.සි.පෙරේරා වැටුප් විෂමතා වාර්තාව අනුව වසර වසර 22 ක් ගතවුනත් වැටුප් විෂමතා ඉවත් කරලා නැහැ.

අධ්‍යාපනයට 6%ක් වෙන් කරනවා කියලා බලයට ආවත් මේ දේවල් රජය මෙතෙක් ඉටු කළේ නැහැ. ඒ වාගේම 2016 න් පස්සේ ගුරුවරුන් ලෙස බඳවා ගත් අයට විශ්‍රාම වැටුප් හිමිකම අහිමි කළා. 2001 බලයට ආපු එක්සත් ජාතික පක්ෂ රජය මේ දෙයම එදත් කළා.

පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ රජය විශ්‍රාම වැටුප් හිමිකම ගුරුවරුන්ට ලබාදුන්නා. අනිත් කාරණාව ගුරුවරුන් අනවශ්‍ය පීඩනයක් ඇතිකරන මේ ලිපි ලේඛන පිරවීම. පවුල් සෞඛ්‍ය සෙවිකාවකගේ ඉදලා මරණ පරීක්ෂකගේ සියලුම කොළ පුරවන්න ගුරුවරුන්ට සිද්ධවෙලා තිබෙනවා. මේ අනවශ්‍ය කොල පිරවීමෙන් ගුරුවරු නිදහස් කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

ගුරුවරුන්ගේ මෙ හඬ යටපත් කරමින් මේ කිසිවකට සවන් නොදී අධ්‍යාපන ඇමතිවරයා අධ්‍යාපන ක්ෂේත්‍රයට දුෂිත ආකාරයට විවිධ පත්වීම් කර ගෙන යනවා. ඒ සියල්ල නවතා මෙම ඉල්ලීම් හතරවත් ඉටුකර දෙන්න කියලා අපි අධ්‍යාපන ඇමතිවරයා ගෙන් ඉතාම අවධාරණයෙන් ඉල්ලා සිටිනවා.

මේ නිසා අපි ජුලි මාසයේ 18 සහ 19 අසනීප නිවාඩු දමා සේවයෙන් බැහැර වීමට තීරණය කර තිබෙනවා.මේ සඳහා සියලු ගුරු වෘත්තීය සංගම්වල සහාය ලැබෙනවා"  ඇය මෙහිදී පැවසුවාය.