(ජයන්ත සමරකෝන්)
කොළඹ 7 - ජාවත්තේ පිහිටි ලංකා සළුසල ආයතනය තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශයට රුපියල් කෝටි 32 හමාරක බදු මුදලක් ගෙවා නැතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු සමුපකාර සංවර්ධන අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කරයි.
ඒ සමඟම ලක්ෂ 12 ක හිඟ විදුලි බිල්පත් නොගෙවීම මත එහි විදුලිය කපා හැර ඇති අතර මේ වනවිට ජනක යන්ත්‍රයක් මගින් විදුලිය සපයා ගන්නා බවද පැවසේ.
මෙම ආයතනය පිහිටි භූමිය අක්කර 3 ක් පමණ වන අතර එහි වත්මන් වෙළඳපළ වටිනාකම රුපියල් කෝටි 2500 කට අධික බවද දැනගන්නට තිබේ.
ආයතනය සතුව තිබූ ප්‍රදර්ශනාගාර 33 ක් අතරින් අද වනවිට ඉතිරිව ඇත්තේ ජාවත්ත හා නුගේගොඩ ප්‍රදර්ශනාගාර පමණක් බවද වාර්තාවේ.
මේ වනවිට ආයතන පරිශ්‍රයේ කොටසක ජනාධිපති ආරක්ෂක අංශය හා ඇමැති ආරක්ෂක අංශය ස්ථානගතව සිටින අතර, සභාපතිවරයකු ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයක් යටතේ රජයේ කිසිදු මුදලක් ලබානොගෙන ආයතනය පවත්වාගෙන යන බවද සඳහන් වේ.

