ජාතික රෝහලේ සුව කත කුඩුත් එක්ක මාට්ටු


(ටී.කේ.ජී.කපිල )

කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්යය සහායිකාවක ලෙස සේවය කරන කාන්තාවක් රුපියල් දෙලක්ෂ පනස් දහසක් පමණ වටිනා හෙරොයින් සමග කටුනායක පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ (01) අත් අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි .

මෙම සේවිකාව පොළොන්නරුව , කාලිංග ඇළ ප්‍රදේශයේ 38 හැවිරිදි පදිංචිකාරිනියක වන අතර දැනට කටුනායක කෝවින්න ප්‍රදේශයේ නිවසක් කුළියට ගෙන වෙනත් සැමියා සමග ජීවත් වෙමින් සිටින බව ද පොලීසිය මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබේ .

ඇය විසින්ම නිපදවන කාන්තාවන් රෑපලාවන්‍ය කටයුතු සදහා යොදා ගන්නා කුඩා ආලේපන බදුන් තුළ , එම ආලේපන සමග , මෙම හෙරොයින් වෙනම ඔතා , කුඩා පැකට්ටු සකස් කර මෙම ආලේපන බදුන් තුළ ඉතා සූක්ෂම ලෙස සගවා තිබූ බව පොලීසිය පවසයි .

මෙසේ මෙම ආලේපන බදුන් තුළ හෙරොයින් ග්රැම් 05යි මිලි ග්රැම් 200 තිබී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

කටුනායක පොලීසියේ ස්ථානාධිපතිවරයා වෙත පෞද්ගලික ඔත්තුකරුවෙකු විසින් දෙන ලද තොරතුරක් මත මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .

මෙම කාන්තාව මෙම හෙරොයින් අඩංගු ආලේපන පාර්සලය කටුනායක මල්ගස්හංදිය ප්‍රදේශයේ දී මෝටර් රථයක පැමිණි පුද්ගලයෙකුට ඊයේ (01) ලබා දීමට උත්සාහ කරමින් සිටියදී , පොලිස් නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

කටුනායක පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් , මෙම කාන්තාව අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන අතර ඇය මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (02) ඉදිරිපත් කිරීමට නියමිතය .

මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා සහ මීගමුව පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි කටුනායක පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් නිශ්ශංක මහතාගේ අධීක්ෂණය යටතේ එම පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක මොහොමඩ් නිෂ්මි , පොලිස් සැරයන් 37371 සුනිල් , කාන්තා පොලිස් සැරයන් 4620 කළ්‍යාණි යන නිලධාරීන් විසින් සිදු කරමින් සිටිති .