
(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා ජනාධිපතිවරයා පත්කළ උපදේශක කමිටුව කඩිනමින් ක්‍රියාවට නැංවීම සඳහා යෝජනා පහක් ඉදිරිපත් කර තිබේ.
උපදේශක කමිටුවේ සාමාජිකයෝ පළමු වරට අද (21) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ජාතික ආර්ථික සභාව හමුවේ එම යෝජනා ඉදිරිපත් කළහ.
උද්ගතව ඇති ආර්ථික ගැටලු සඳහා විසඳුම් සෙවීමට පත් කළ ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා 16 දෙනෙකුගෙන් යුතු මෙම උපදේශන කමිටුව ජනාධිපතිවරයා විසින් පසුගිය 15 වනදා පත්කරන ලදී.
ආර්ථිකය ස්ථාවර කරමින් නිවැරදි දිශාවට හැරවීම සඳහා ප්‍රතිමූල්‍යකරණය ශක්තිමත් කිරීමට අවශ්‍ය කෙටි සහ දීර්ඝකාලීන පියවර ගත යුතු බව උපදේශක කමිටුව වැඩිදුරටත් යෝජනා කරයි.
ලොව බොහෝ රටවල ආර්ථිකයට එල්ල වී ඇති බලපෑමේ ප්‍රතිකම්පනය මෙරටට ද දැඩිව මුහුණ දීමට සිදුව තිබෙන අතර විනිමය අර්බුදය මේ අතර ප්‍රමුඛ බවත් මුහුණදී ඇති අභියෝග නිසි ලෙස කළමනාකරණය කරමින් උද්ගතව ඇති ආර්ථික පසුබෑම කෙටි කාලයකදී මගහරවා ගතහැකි බවත් උපදේශක කමිටුව විශ්වාසය පළ කරයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු සහ උපදේශක කමිටුවේ සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.
එම යෝජනා මාලාව
1. ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා, මහා බැංකුව සහ භාණ්ඩාගාරය නියෝජනය වන නිලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් වහාම පත්කිරීම.
2. මූල්‍ය උපදේශකයෙකු වහාම පත්කිරීම සහ නීති උපදේශකයෙකු පත්කිරීමට පියවර ගැනීම.
3. ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා ප්‍රතිව්‍යුහගත වැඩසටහනක් තාක්ෂණික කමිටුව විසින් කඩිනමින් ඉදිරිපත් කළ යුතුය.
4. මුදල් අමාත්‍යවරයාගේ සහාය සඳහා වන විශේෂඥ කණ්ඩායම හඳුනාගැනීම.
5. සැපයුම් අවහිරතා මඟහරවා ගනිමින් විශ්වාසය ඉහළ නැංවීමට අවධානය යොමු කිරීම.




