(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
තනි සිදුවීම් දෙකක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස අර්ථ දැක්විය නොහැකි යැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අධිකරණයේ වූ අවාසනාවන්ත සිදුවීම ගැන කණගාටුව පළ කරනවා.පසුගිය දින කිහිපය පුරා සිදු වූ සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුම් වාර්තා වුණා.මේ ගැන රජය බරපතල තීන්දු ගෙන තිබෙනවා.ඊයේ දිනයේ වෙඩි තැබීම කළ සැකකරු අඩංගුවට ගැනීමට හැකි වුණා.ඔහු මහරගම පදිංචි සමිඳු දිල්ෂාන් නැමති අයෙක්.විමර්ශන දිගින් දිගටම කරනවා.ජාතික ආරක්ෂාවට කිසිදු බාධාවක් එල්ල වී නැහැ. මේවා තැන තැන සිදුවන පාතාල ක්‍රියාකාරකම්.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියන උදවියගේ කාලේ මාධ්‍ය ආයතන ගිනි ගත්තා. ඝාතනය වුණා. ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු තවත් ඝාතන කීපයකට සම්බන්ධ බවට කරුණු අනාවරණය වී තිබෙනවා.තනි සිදුවීමක් දෙකක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස දක්වන්න බෑ.
මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරු කරන්නට අප කටයුතු කරනවා.මේ සියල්ලක්ම විමර්ශනය කොට වැරදි වලට සම්බන්ධ අය නීතිය ඉදිරියට ගේනවා යැයි අමාත්‍යවරයා පැවසීය.