(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව එළඹෙන අගෝස්තු මාසයේදී පළමුවැනි පාර්ලිමේන්තු සතියේදී නව නීති විශාල ප්‍රමාණයක් සහිත සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා පැවසීය.
ඉකුත් පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරයත් සමග එක රටකට පොදු නීතියක් අවශ්‍ය බව ලාංකේය මතයක් ගොඩනැගුණු හෙයින් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව පිහිටවූ බව සභාපතිවරයා පැවසීය.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් යෝජනාවලියක් බාරදුන් බවද එම යෝජනාවල මූලික යෝජනා 11ක් තිබූ බවද සභාපතිවරයා කීය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව ඉකුත් මැයි මාසයේ සිට මේ දක්වා කමිටු රැස්වීම් 15කට අධික ප්‍රමාණයක් පැවැත්වූ බවත් සමස්ත රැස්වීම් මාලාව විසින් ගොඩනගන ලද නව නීති විශාල ප්‍රමාණයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා පැවසීය.
මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම යෝජනා 11ට අමතරව විවිධ පාර්ශ්ව හා සමාජ කණ්ඩායම් එම කමිටුව වෙත ඉදිරිපත් කළ යෝජනා එකතු කර අලුතින් නීති ගණනාවක් පැනවීමට නිර්දේශ කර ඇතැයිද ආරක්ෂක අමාත්‍යංශය, අධිකරණ අමාත්‍යාංශය, විදුලි සන්දේශ නියාමන කොමිසම, ආගමන විගමන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය, ආගමික කටයුතු අමාත්‍යංශය ඇතුළු අමාත්‍යංශ ගණනාවක් සහ විවිධ ආයතනවලට අයත් 50,000කට වැඩි ප්‍රමාණයක් මේ යටතේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

