
ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යාන්තර මුහුදේදී අත්අඩංගුව ගත් ධීවරය බෝට්ටුවේ තිබී කුඩු කිලෝ 301ක් සොයාගත් බව නාවික හමුදාව කියයි.
එම සැකකටයුතු ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගත් පිරිස අතර පාකිස්තාන ජාතිකයන් පස් දෙනකු ද සිටින බව නාවික හමුදාව පවසයි.
ඒම කුඩු තොගය සහ සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දුන්නේය.
මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් බහුදින ධීවර කටයුතු සිදුකරන මුවාවෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදවනු ලබන ධිවර යාත්‍රාවන් වෙත ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය හුවමාරු කර ගොඩබිම වෙත රැගෙන ඒම සඳහා මෙම මත්ද්‍රව්‍ය රැගත් විදේශීය ධීවර යාත්‍රාව ජාත්‍යන්තර මුහුදේ ස්ථානගතකර තැබීමට ජාවාරම් කරුවන් විසින් සැළසුම්කරන්නට ඇතැයි සැකකරන අතර, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 3100කට අධික වෙතැයි විශ්වාස කෙරේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය කිරීම සඳහා කොළඹ වරාය වෙත පැමිණි ආරක්‍ෂක ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික ) කමල් ගුණරත්න මහතා, කියා සිටියේ. මේ දිනවල පවතින මුහුදේ දැඩි රළු ස්වාභාවය හමුවේ වුවද දීර්ඝ කාලයක් සෝදිසි මෙහෙයුම් සිදුකරමින් මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලද ශ්‍රීලංනානෞ සමුදුර නෞකාවේ අණදෙන නිලධාරී ඇතුළු නැව් මුළුව වෙත සිය කෘතඥතාවය පරිනැමුවේය.
රටේ අනාගත පරපුර විනාශ කර දමන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා නාවික හමුදාව සිදුකරන මෙම සුවිශේෂී කාර්යභාරය සම්බන්ධයෙන් නාවික හමුදාධිපති ඇතුළු සමස්ථ නාවික හමුදාව වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය වෙනුවෙන් සිය ස්තූතිය ඵල කරන බව කියා සිටියේය.
මෙම මෙහෙයුම සඳහා සෑම අතින්ම සහයෝගය දැක්වූ ශ්‍රී ලංකා පොලීසියේ පොලිස්පති ඇතුළු පොලිස් නිලධාරීන් වෙතත්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වෙතත් ආරක්‍ෂක ලේකම් විසින් මෙහිදී සිය ස්තූතිය පල කර සිටින ලදී.











