ජයග්‍රහණ සැමරුම්වලදී ගැටුම්වලට වැඩි බරක්


(බිඟුන් මේනක ගමගේ) 


පශ්චාත් මැතිවරණ සමයේදී සතියක් ඇතුළත සිදුවීම් 45 ක් වාර්තා වී ඇතැයි ද එයින් වැඩිපුරම ගැටුම් හටගෙන ඇත්තේ ජයග්‍රහණය සැමරීම සඳහා සංවිධානය කළ සැමරුම් පෙළපාළිවලදී යැයි ද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ.

ජයග්‍රහණය සැමරීම සඳහා සංවිධානය කෙරෙන පෙළපාළිවලදී ඇතැම් ආධාරකරුවන් සංවිධායකයන්ගේ පාලනයෙන් ද මැතිවරණ නීති රාමුවෙන් ද බැහැර වී කටයුතු කිරීමෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වේ. 

එම සිදුවීම්වලින් 35 ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන්ට ද සිදුවීම් 4 ක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ආධාරකරුවන්ට ද එරෙහිව වාර්තා වී ඇත. 

ශ්‍රී ලංකා පොලිසිය යහපත් මැතිවරණ සංස්කෘතියක් වෙනුවෙන් පූර්ව මැතිවරණ සමයේ ක්‍රියාකාරීව මැදිහත් වූ නමුත් පශ්චාත් මැතිවරණ සමයේදී එවැනි උත්සාහ නොගන්නා අවස්ථා වාර්තා වී ඇතැයි ද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථාන වාර්තාවේ සඳහන් වේ. 

එම වාර්තාවට අනුව බස්නාහිර පළාතේ බණ්ඩාරගම, අගලවත්ත, මතුගම, මීගමුව, කටාන, දිවුලපිටිය යන මැතිවරණ කොට්ඨාසවලින් ද වයඹ පළාතේ  වාරියපොළ, කුලියාපිටිය, නිකවැරටිය, බිංගිරිය, වෙන්නප්පුව, පුත්තලම යන මැතිවරණ කොට්ඨාසවලින් ද උතුරු පළාතේ සෙට්ටිකුලම හා උතුරුමැද පළාතේ මැදිරිගිරිය යන මැතිවරණ කොට්ඨාසවලින් ද සිදුවීම් වාර්තා වී ඇත.

ඌව පළාතේ වැල්ලවාය, බණ්ඩාරවෙල, වැලිමඩ, මහියංගනය මැතිවරණ කොට්ඨාසවලින් ද මධ්‍යම පළාතේ රත්තොට, දඹුල්ල, තෙල්දෙණිය මැතිවරණ කොට්ඨාසවලින් ද සබරගමුව පළාතේ ගලිගමුව, යටියන්තොට, හා අරණායක මැතිවරණ කොට්ඨාසවලින් ද වාර්තා වී ඇත.  

මෙම ජනාධිපතිවරණයට සාපේක්ෂව 2015 ජනාධිපතිවරණයේදී මෙම කාලයේදී සිදුවීම් 51 ක් වාර්තා වී යැයි ද ඊට බරපතල සිද්ධි 32 ක් හා සුළු සිද්ධි 19 ක් ඇතුළත් වී යැයි ද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.