ජනාධිපති ගෝඨාභයට 2011 දී නිකුත්කළ සිතාසිය අභියාචනාධිකරණයෙන් බල රහිත කරයි


( තිළිණි ද සිල්වා )

2011 වසරේ පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන ලලිත් වීරරාජ් හා කූගන් මුරුගානන්දන් යන අයගේ නඩු විභාගයකට අදාළව සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිකුත් කර තිබූ සිතාසිය බල රහිත කරමින් අභියාචනාධිකරණය අද (24) රිට් ආඥාවක් නිකුත් කරන ලදී.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

ලලිත් සහ කුගන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින හබයාස් කෝපුස් නඩු විභාගය සඳහා සාක්ෂි දීමට ඉකුත් වසරේ සැප්තැම්බර් මස 27 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය මගින් හිටපු ආරක්ෂක ලේකම් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නොතීසියක් නිකුත් කර තිබුණි.

ආරක්ෂක හේතූන් මත තමාට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට අපහසු බව දන්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ රිට් පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය එම සිතාසිය මත යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීම වළක්වාලමින් අතුරු  නියෝගයක් ද නිකුත් කර තිබුණා.

එම පෙත්සමට අදාලව අද තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නවාස් මහතා කියා සිටියේ මහේස්ත්‍රාත් අධිකරණයක් මගින් යම් පුද්ගලයකු වෙත සිතාසියක් නිකුත් කළ හැක්කේ යම් කිසි නිශ්චිත කරුණක් සඳහා පමණක් බවය.

එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මෙම සිතාසිය නිකුත් කර තිබෙන්නේ නීතිඥවරයෙකු ඉදිරිපත් කළ මෝසමකට අනුව යැයි පෙන්වා දුන් සභාපති විනිසුරු නවාස් මහතා ඒ තුළ කිසිදු නීතිමය පදනමක් දක්නට නොලැබෙන බවද සඳහන් කළේය.

ඒ අනුව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන සිතාසිය නීතියට පටහැනි මෙන්ම බලරහිත ලියැවිල්ලක් බවද සභාපති විනිසුරුවරයා සඳහන් කර සිටියේය.

ඒ අනුව එම සිතාසිය බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කරන බව ද විනිසුරු මඩුල්ල සඳහන් කළා.

මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වූ ලලිත් සහ කුගන් අතුරුදන් වීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාගේ පවුලේ ඥාතීන් ගොනු කල හබයාස්කෝපුස් පෙත්සමට අදාළව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම පෙත්සම ගොනු කළේය.
පෙත්සමේ මෙසේද සඳහන් වේ.

මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වූ ලලිත් සහ කුගන් නැමැත්තන් අතුරුදන් වීමය අදාළව යාපනය මහේස්ත්‍රාත් අධිකරණය පවතින නඩුවට ඉකුත් වසරේ සැප්තැම්බර් 27 වැනි දින පෙනී සිටීමට සිතාසි ලැබී ඇත.

පෙත්සම්කරු එල්.ටී.ටී.ඊ සංවිධානයේ යුදමය වශයෙන් පරාජය කළ සමයේදී ආරක්ෂක ලේකම්වරයා හැටියට කටයුතු කළ ඒ සමයේදී සියලු යුද කටයුතු සම්බන්ධීකරණය කරනු ලැබුවේ පෙත්සම්කරුය.ඒ අනුව පෙත්සම්කරු ත්‍රස්තවාදීන්ගේ මූලික ඉලක්කයකි.

ඊට අමතරව 2006 වසරේදී ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බකරුගේ ඉලක්කයකි.ඒ අනුව පෙත්සම්කරු මරණ තර්ජන වලට ලක් වූවෙකි.

එබැවින් වගඋත්තරකරුට නොතීසි නිකුත් කරන ලෙසද , තමන්ට එරෙහිව නිකුත් කර ඇති සිතාසි යළි කැඳවීමට නියෝග කරන ලෙසද , මෙම 27 වැනිදා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නිකුක් කර ඇති සිතාසිය මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද , අදාළ නඩුව උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන හැර වෙනත් ප්‍රදේශයක විභාගයට ගැනීමට නියෝගය කරන ලෙසද පෙත්සම් කරු සිය පෙත්සමින් ඉල්ලා සිටී.

පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් පරිදි නීතීඥ සුගත් කල්දේරා සහ ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහත්වරුන් පෙනී සිටියහ.

නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ වසන්ත පෙරේරා මහතා පෙනී සිටියේය.

මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වූ ලලිත් සහ කුගන් ගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් නීතීඥ නුවන් බෝපගේ මහතා පෙනී සිටියේය.
.