ජනපතිට අධිකරණයෙන් උත්තර දුන්නා


(නිමල කොඩිතුවක්කු)

මැතිවරණය නොපවත්වන්නට සහ කල් දමන්නට කටයුතු කරමින් කූඨ උපක්‍රම දියත් කළ ජනාධිපතිවරයාට නිසි පිළිතුරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

තවදුරටත් මැතිවරණය කල් දැමීමට දැන් ආණ්ඩුවට අයිතියක් නැති බැවින් වහාම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ෂටප් ඇන්ඩ් සිට් ඩවුන් (SHUT UP AND SIT DOWN) යයි රටේ මහජන නියෝජිතයින්ට තර්ජනය කළ ජනාධිපතිවරයාට අධිකරණය විසින් ෂටප් ඇන්ඩ් සිට් ඩවුන්වර්ගයේ තීන්දුවක් දී ඇතැයිද කළුතර බුලත්සිංහල පැවති ජන හමුවක් අමතමින් ඔහු පැවසීය.

ආණ්ඩුව සමග ඩීල් දමා ගෙන සිටින ඇතැමුන් නිහඬව සිටිද්දී සමගි ජන බලවේගය රටේ දෙකෝටියකට වැඩි ජනතාව වෙනුවෙන් මැතිවරණය ඉල්ලා අධිකරණය වෙත ගිය බවත් එයින් ලද තීන්දුව හේතුකොටගෙන ජනතාවගේ ඡන්ද අයිතිය සුරක්ෂිත වූ බවත් විපක්ෂ නායකවරයා කීවේය.

පළාත් පාලන මැතිවරණය ලබාගැනීම වෙනුවෙන් අඛණ්ඩවම එකම විශ්වාසය තැබූ දේශපාලන පක්ෂය සමගි ජන බලවේගය පමණක් බවත් ඉදිරියේදිත් ඒ වෙනුවෙන් කැප වන බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

බංකොලොත් රටක ආර්ථිකය කුඩා කොට රට ගොඩනැඟිය නොහැකි බවත් වැටුණු රට ගොඩනැඟීමේ හැකියාව ඇති කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගය සතුව පමණක් බවද ඔහු පැවසීය.