ජනපති හා කුවේට් අගමැති අතර හමුවක්


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් සබා අල් - හමාඩ් අල් - සබා මහතා  නිව්යෝර්ක් මෑන්හැට්න්හි දී හමුවිය.

දෙරට අතර පනස් වසරක සමීප සහ මිත්‍රශීලි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිහිපත් කළ නායක දෙපළ එම සබඳතා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බව සඳහන් කළහ.

ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් කුවේට් රාජ්‍යයේ සේවය කරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පුහුණු ශ්‍රමිකයන් සඳහා තවදුරටත් අවස්ථාවන් විවෘත කර දෙන ලෙස ඉල්ලීමක් කරනු ලැබීය. 

කොවිඩ් වසංගතය පාලනය සහ රට තුළ සිදු කෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව පෙන්වා දුන් ජනාධිපතිවයරා වසංගතය පහව ගොස් ලෝකය විවෘත වීමත් සමග ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ හැකියාව පෙන්වා දුන්නේය. 

වරාය නගරය, සූර්ය හා සුළං බලශක්ති සහ පිරිපහදු ක්ෂේත්‍රයන් තුළ කුවේට් රාජ්‍යයට ඇති ආයෝජන අවස්ථා පිළිබඳව ද ජනාධිපතිතුමා කුවේට් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කළේය. 

ආහාර සුරක්ෂිතතාව, අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය සහ සයිබර් ආරක්ෂාව පිළිබඳව ද රාජ්‍ය නායකයන් අතර කථා බහට ලක් විය.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.