ජනපති මෛත්‍රීගෙන් ගෝඨාභයට සුබපැතුම්


විනීතා එම්.ගමගේ

ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සුභපතන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔහුගේ කටයුතු සාර්ථක වේවායි ආශිර්වාද කරයි. 

2019 ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත්වූ   ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ශ්‍රී ලංකාවේ හයවැනි විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිකුරාදා (15) දින ජනාධිපති ධුරයේ රාජකාරී අවසන් කළ අතර, එහිදී ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශයේ දී ද තේරි පත්වන නව ජනාධිපතිවරයා වෙනුවෙන් සිය සුබපැතුම් පළකරමින් ඔහුගේ ඉදිරි කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට සිය ආශිර්වාදය පළ කර ඇත.

මේ අතර ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ එම සියලු දෙනා හා එක්ව තම උතුම් මාතෘභූමිය සහ ආදරණීය ජනතාව වෙනුවෙන් අඛණ්ඩ කැපවීමෙන් යුතුව තමා විසින් ඉටුකළ වගකීම් හෙට දිනයේ ද ඉටුකිරීම අධිෂ්ඨානය බව යැයි ද එම නිවේදනය කියයි.