ජනපති කියන සුහුරු රටේ ඇති දේ සජිත් කියයි


(නිමල කොඩිතුවක්කු)

සුහුරු රටක් ගොඩනඟන බවට ජනාධිපතිවරයා පාම්පෝරි ගැසුවත් ඔහු කියන සුහුරු රටේ ඇත්තේ වැඩි කිරීම හා විකිණිම පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ජනතාවට අසීමිත අසහනයක් පීඩනයක් නිර්මාණය කර ඇති බවත් ඉන් වැඩිම හානිය රටේ දරු පරපුරට හා මව්පරපුරට සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කිසිදු සංවේදීභාවයක් නොමැති ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව තව තවත් වැඩි කිරීම් සිදු කරමින් විකුණමින් රටේ ජනතාව නෙමරා මරා දමන බවත් සක්වල වැඩසටහනේ 37 වැනි සුහුරු පන්ති කාමරය උතුරු කොළඹ ඩි ලා සාල් විද්‍යාලයට ලබා දීමේ අවස්ථාවට එක් වෙමින් ඔහු කීවේය.

කැබිනට් තීන්දු සහ නීතිය උල්ලංඝනය කර විදුලි බිල නැංවීමට රජය කටයුතු කරන බවත් එක වසරක් තුළ 3 වතාවක් අනිතිකව විදුලි බිල වැඩි කර විෂය භාර ඇමතිවරයා වීරයකු මෙන් පංපෝරි ගසමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජල විදුලිය නිෂ්පාදනය ඉහළ මට්ටමක පැවතුණත් මාස 3න් 3ට විදුලි බිල වැඩි කිරීම අනුමත කළ නොහැකි බවත් ඔහු කීවේය.

බිලියන ගණනක් ලාභ ලබන ලිට්රෝ ගෑස් ආයතනයත් විකිණීමට රජය සූදානම් බවත් මේ නිසා සේවක ආරක්ෂව පවා අහිමි වි ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.