ජනපති - මැකෝ පළාත් සභා මැතිවරණය ගැන සාකච්ඡා


ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. 

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බවට ජාතික මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කර ඇති ප්‍රකාශයක් පදනම් කරගෙන ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ. 

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනාධිපතිවරයාගේ ධුර කාලයේ දිගුවක් ඉල්ලීමට නොහැකි බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නීති උපදේශකයන් ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක් සඳහා පිටත්ව යෑමට පෙර දැනුම්දීමත් සමඟ මෙලෙස ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබේ. 

දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව තම ධූර කාලය ආරම්භ වන්නේ 2015 වසරේ ජනවාරි 09 වැනිදා නොව, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතිගත කෙරුණු 2015 වසරේ මැයි මස 19 වැනිදා බව සඳහන් කරමින් ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නව අර්ථ නිරූපණයක් ලබාගැනීමට බලාපොරොත්තු වූ බව පසුගිය සතියේදී වාර්තා විය. දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හයේ සිට වසර පහක් දක්වා අඩු කෙරුණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේ 2015 වසරේ ජනවාරි 09 වැනිදාය. 

පසුගිය වසරේදීද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙලෙස අර්ථ නිරූපණයක් ඉල්ලා සිටි අතර ශ්‍රේෂ්ඨාධිකරණය පිටු 12 න් සමන්විත තීන්දුවක් ලබාදෙමින් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6ක් බව ප්‍රකාශ කළේය. නීතිය හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විමසා බැලිය හැක්කේ එය පැනවීමට පෙර කාලයේදී පමණක් බව ද ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය. 

 


හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් අදාළ ඉල්ලීම සලකා බැලුණි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  නීතියක් බවට පත්ව ඇති බැවින්  එම සංශෝධනයේ වලංගුතාව හෝ එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලදැයි විමසා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිදු බලයක් නැතැයි එම විනිසුරු මඬුල්ල ප්‍රකාශ කළහ.

මේ අනුව නැවත වරක් අර්ථ නිරූපණයක් ඉල්ලා නොසිටීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.  
ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය සංචාරයේ නිරත වීමට පෙර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමඟ පළාත් සභා මැතිවරණය හා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. එමෙන්ම ඔහු මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්  සමඟ ද සාකච්ඡා කර ඇත.


සන්ඬේ ටයිම්ස් ඇසුරිනි 

 

(055)