
(ඩයනා උදයංගනී)
මහමැතිවරණයේ දී ඡන්දය භාවිතා කිරීම සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සිට ගම්බිම් බලා ගමන් ගන්නා ජනතාව වෙනුවෙන් 31 වැනිදා සිට අමතර ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
රජයේ හා පුද්ගලික අංශයේ සේවකයින්ට ජූලි 31 වැනිදා සිට සති අන්තය හා අගෝස්තු 03 වැනිදා පසළොස්වක පොහොය ද යෙදෙන බැවින් දීර්ඝ නිවාඩුවක් ලැබෙන නිසාත්, 5 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයේදී ඡන්දය භාවිතා කිරීම සඳහාත් ගම්බිම් බලා යන පිරිස වැඩි විය හැකි නිසා මෙම පියවර ගෙන ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ පිහිටි ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේදී අද (22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඒ අනුව 31 වැනිදා සිට අමතර පුද්ගලික බස් රථ 600ක් හා ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් සියයලු බස් රථ ධාවනය කරවීමටත් දුරගමන් දුම්රිය හා විශේෂ දුම්රිය කිහිපයක් යෙදවීමටත් පියවර ගෙන ඇතැයි අමාත්‍යවරයා කීවේය.
එමෙන්ම මැතිවරණයෙන් පසු නැවත පැමිණෙන ජනතාව වෙනුවෙන් ද අගෝස්තු 7-9 දක්වා දිනවලදී විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරන බව ඇමතිවරයා පැවසීය.
මේ වෙනුවෙන් නව බස් රථ සඳහා තාවකාලික බලපත් ලබාදීම, බැස්ටියන් මාවතේ පිහිටි පුද්ගලික බස් නැවතුම් පොළ විෂබීජානුහරණය කිරීම, ප්‍රවාහන සේවා අධීක්ෂණය ආදී කටයුතු ද සිදුකෙරෙන බව ඇමතිවරයා සඳහන් කළේය.
එම පිරිසට තදබදයකින් තොරව මෙන්ම කොවිඞ් 19 වයිරසයෙන් ආරක්ෂාවීමේ සෞඛ්‍ය උපදෙස් අනුව ප්‍රවාහණ සේවා සැලසීම තම අරමුණ බව ද අමාත්‍යවරයා කීවේය.
ලැබෙන නිවාඩුව සමඟ මෙවර මහමැතිවරණයේදී ඉහළම ප්‍රතිශතයක් ඡන්දය භාවිතා කරනු ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය

