චීනා හොරෙන් ඇවිත් එයාර්පෝට් එකේ යකා නටලා


(ටී.කේ.ජී.කපිල  ) 

කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ චීන ජාතිකයෙකු  අද (19 )  අලුයම අත් අඩංගුවට ගෙන ආපසු ඩුබායි වෙත යැවීමට ආගමන විගමන නිලධාරීන් විසින් පියවර ගැනීමේ දී , මෙම චීන ජාතිකයා සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය තුළ කළහකාරී ලෙස හැසිරෙමින් , දැඩි ලෙස බාධා කර තිබේ .

ව්‍යාපාරිකයන් බව පවසමින් චීන ජාතිකයන් දෙදෙනෙකු සහ එක් ඊජිප්තු ජාතිකයෙකු ඊයේ 18 රාත්‍රී 09.50 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයේ ව්‍යාපාරික පංතියේ ආසන පහසුකම් යටතේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙසේ පැමිණි මොවුන් තිදෙනා මෙරටට ඇතුළු වීම සදහා සිය නිශ්කාශන කටයුතු කර ගැනීම සදහා ආගමන විගමන කවුළුව වෙත පැමිණ ඇත්තේ පැය දෙකකට පමණ පසුවය .

මේ අතර සිටි මෙම කණ්ඩායමේ නායක චීන ජාතිකයා කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ සේවය කළ ආගමන විගමන නිලධාරීවරයා වෙත අප්‍රිකාවේ ගිනි රාජ්‍යයේ ගුවන් ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කර තිබේ .

ඒ පිළිබඳව හට ගත් සැකය මත මෙම ගුවන් ගමන් බලපත්‍රය සහ ඔහුගේ අනෙකුත් ලියකියවිලි , කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ ඇති දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත ඉදිරිපත් කිරීමට , එහි සේවය කළ ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා පියවර ගෙන තිබේ .

එහිදී මෙම ගුවන් ගමන් බලපත්‍රය අප්‍රිකාවේ ගිනි රාජ්‍යයේ පුද්ගලයෙකුගෙන් සොරා ගෙන , එහි ජීව දත්ත පිටුව වෙනස් කර , කූඨ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයක් බවට කරුණු අනාවරණය වී තිබේ .

පසුව ඔහුගෙන් දීර්ඝ ලෙස මේ පිළිබඳව කරුණු විමසා සිටියදී , ඔහුගේ සැබෑ චීන ජාතික ගුවන් ගමන් බලපත්‍රය සොයා ගෙන , ඔහු චීන ජාතිකයෙකු බව සනාථ කර ගෙන තිබේ .

එහෙත් මෙම චීන ජාතිකයා ශ්‍රී ලංකාවට පැමිණීම සදහා ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඉදිරිපත් කර ඇත්තේ ද , මෙසේ කූඨ ලෙස සකස් කළ ගිනි රාජ්‍යයේ ගුවන් ගමන් බලපත්‍රය බව , එය නිරීක්ෂණය කිරීමෙන් තහවුරු වී තිබේ .

ඉන්පසුව මෙම චීන ජාතිකයා ආපසු ඩුබායි වෙත රැගෙන යාම සදහා එමිරේට්ස් ගුවන් සේවය වෙත භාර දීම සදහා කටයුතු කිරීමේදී , එසේ නොකරන ලෙස බල කරමින් , බලපෑම් සහගත දුරකථන ඇමතුම් රාශියක් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන කාර්යාලය වෙත ලැබී තිබුණි .

එහෙත් ඒවා නොසළකා මොහු ආපසු යැවීමට පියවර ගැනීමත් සමග , මොහු සිය මිතුරන් දෙදෙනා ද සමග , ගුවන් තොටුපළ ආගමන විගමන පරිශ්‍රයේ කළහකාරී ලෙස හැසිරීමට පටන් ගෙන ඇති අතර , ඒවා පාලනය කර ගැනීමට ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්ගේ සහාය ද ලබා ගැනීමට ආගමන විගමන නිලධාරීන් කටයුතු කර තිබුණි .

මෙහිදී එක් චීන ජාතිකයෙකු ආරක්ෂක නිලධාරීන්ගෙන් මිදී ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ වැසිකිළියක් තුළ සැගවී සිටීමට ද ක්‍රියා කර තිබුණි .

 එසේම මොවුන් තිදෙනා තමන්ට ශ්‍රී ලංකාව තුළට පිවිසීම සදහා අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලමින් අල්ලස් ලබා දීමට ද කීප වරක්ම උත්සාහ කර තිබුණි .