චීනය දුන් සහල්වල පළමු තොගය බාර දෙයි


(විමුක්ති එස් රුද්‍රිගු)

චීනය ප්‍රදානය කරන මෙට්‍රික් ටොන් 10,000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාපන අමාත්‍යංශයට නිල වශයෙන් භාර දෙනු ලැබිණ.

පළමු කොටසට සහල් මෙට්‍රික් ටොන් 5000 ක් ඇතුළත් විය. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහල් තොගය නිල වශයෙන් භාර ගත්තේය.

සහල් මෙට්‍රික් ටොන් 10000 ක ප්‍රදානය මගින් ශ්‍රී ලංකාව පුරා තිබෙන පාසල් 7900ක සිටින පාසල් ළමුන්ට ආහාර ලබා දීම සඳහා පාසල් පෝෂණ ආහාර වැඩහටහනට සහාය ලබා දීමට බලාපොරොත්තු වන බව චීන තානාපති චි චෙන්හොන්ග් මහතා ප්‍රකාශ කළේය.

එළඹෙන සති දෙකක කාලය තුළ ප්‍රදානයේ දෙවැනි සහ තුන්වෙනි කොටස් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවත් අවම වශයෙන් මාස 6ක කාලයක් පාසල් ආහාර වැඩසටහන ශක්තිමත් කිරීමට චීනය බලාපොරොත්තු වන බවත් චීන තානාපති චි චෙන්හොන්ග් මහතා පැවසුවේය.