චාමික කරුණාරත්නට ඇප


(රෝෂන් තුෂාර)

ගුවන් නියමූවරියකගේ දැරියට පීතෘත්වය ලබාදීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩක චාමික දිලුෂාන් පෙරේරා කරුණාරත්න කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට සිය නීතීඥවරයා මාර්ගයෙන් කරුණු දක්වමින් (08) පැවසීය.

පිතෘත්වය සනාථ කිරීම සඳහා වන ඩී.එන්.ඒ පරීක්ෂණයක් සිදු කිරීමට කරන ඉල්ලීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවද වැඩි දුරටත් පැවසීය.

කොළඹ කොම්පඤ්ඤවීදියේ පදිංචි ගුවන් නියමු සෙව්වන්දි සේනාධීර විසින් චාමික කරුණාරත්නයට එරෙහිව  පැවරු නඩත්තු නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දිසානායක  මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල රැකව මහතා මෙම කරුණු ඉදිරිපත් කළේය.

දරුවාගේ පීතෘත්වය සනාථ කෙරෙන ඩීඑන්ඒ පරීක්ෂණයක් සිදු කරන ලෙසට නියෝගයක්  සහ දරුවාට රුපියල් ලක්ෂය බැවින් වූ මාසික නඩත්තු දීමනාවක් ඉල්ලා ක්‍රිකට් ක්‍රීඩකයාට එරෙහිව මෙම පුද්ගලික පැමිණිල්ල ගොනුකොට තිබිණි.දරුවාගේ උප්පැන්නයට පියාගේ නම ලබාදීම විත්තිකරු විසින් මගහරින බැවින් මෙම නියෝග නිකුත් කරන ලෙසද ඉල්ලා ඇත.

ගුවන් සේවිකාව සිය පැමිණිල්ල මගින් සඳහන් කර ඇත්තේ විවාහවීමේ බලාපොරොත්තුව ඇතිව තමන් ‍ක්‍රිකට් ක්‍රීඩකයා සමඟ සබඳතාවයක් පවත්වාගෙන ගිය බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට දාව තමන්ට දරුවෙක් සිටින බවය.

විවාහ වෙන බවට විත්තිකරු තමන්ට පොරොන්දුව ලබා දුන් නමුත් විවාහ ගිවිස නොගත් බවත් පසුව තමාව හා දරුවාව අතහැර වෙන්ව සිටින බවද  සඳහන් කර ඇත.

නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පෙරුසා තම්බයියා මහත්මිය කරුණු දක්වමින් පැමිණිලිකාරියගේ දරුවා සම්බන්ධයෙන් විත්තිකරුට අදාළව ඩීඑන්ඒ පරීක්ෂණයක් පවත්වන නියෝගයක් නිකුත් ලෙසට ඉල්ලා සිටියාය.

විත්තිකරු වෙනුවෙන් නීතිඥ ඇසේල රැකව මහතා කරුණු දක්වමින් අදාළ ඉල්ලීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළයුතු බව පැවසීය.

තම සේවා දායකයා ඇය සමග සමීප සබඳතාවයක් පැවැති බව පිළිගන්නා නමුත් පැමිණිලිකාරිය දරුවා ගර්භයේ සිටියදී ඉන්දීය පුද්ගලයෙකු සමග ප්‍රේම සබඳතාවයක් පැවත්වා ඇති බවට  ඡායාරූප ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා සිටියේය.

පීතෘත්වය ප්‍රතික්ෂේප කරමින් නඩු විභාගයට මුහුණ දීමට සූදානම් බවත් කියා සිටියේය.

ඩීඑන්ඒ පරීක්ෂණයක් බලෙන් ලබාගතය නොහැකි බවත් ඊට අදාළ පූර්ව නඩු තීන්දු ඇති බවත් පෙන්වා දුන්නේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා අධිකරණය ඉදිරියේ පෙනී සිටි විත්තිකරු රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදා හරීන ලෙස නියෝග කළේය.පැමිණිල්ලේ වැඩිදුර කරුණු විමසීම ජනවාරි 30 දිනට නියම කළේය.